යොවුන් විය යනු සාමාන්‍යයෙන් අවුරුදු 10-19 අතර කාලය තුළ දරුවෙකු වැඩිහිටියෙකු බවට පත්වන තීරණාත්මක සංක්‍රාන්ති සමයකි. යොවුන් විය යනු ගැඹුරු වෙනස්වීම් සිදුවන කාලයක් අතර එය සැලකිය යුතු ශාරීරික වර්ධනයක් සිදුවන කාලයක් පමණක් නොව චිත්තවේගීය හා මානසික පරිණතභාවයක් ද ඇති වන කාලයකි.
මොළය වර්ධනයවීම වයස අවුරුදු 25 පමණ වන තෙක් සම්පූර්ණයෙන් පරිණත නොවන නමුත් යොවුන් වියේදී විශේෂයෙන්ම මොළයේ pre-frontal cortex ලෙසින් හඳුන්වන ප්‍රදේශයේ සැලකියයුතු වර්ධනයක් සිදු වේ. මෙම කොටස පුද්ගලයෙකුගේ සිතුවිලි සහ ප්‍රතිචාර දැක්වීම, තීරණ ගැනීම, ආවේග පාලනය, පෞරුෂ ලක්ෂණ සහ සංජානනය සඳහා බලපානු ලබයි. සෞඛ්‍ය සම්පන්න මොළයේ වර්ධනයක් සඳහා දරුවෙකුගේ පරිසරය, අන් අය සමඟ පවත්වන සබඳතා, පෝෂණය, නින්ද, ශාරීරික ව්‍යායාම සහ ආතතිය ඇතුළු බොහෝ සාධක සමබරව පවත්වා ගත යුතුය.
නව යොවුන් වියේදී මොළය පරිණත වන අතර හැඟීම් වලට වගකිව යුතු මොළයේ ලිම්බික් පද්ධතිය (limbic system) ලෙස හඳුන්වන කොටස ඉතා ක්‍රියාකාරී වේ. මෙම වර්ධන ක්‍රියාවලියේදී ආතතියට වැඩි සංවේදීතාවයක් ඇති වන අතර වර්ධනය වන යොවුන් වියේ පුද්ගලයා තීව්‍ර හැඟීම් අත්විඳින අතර දිගුකාලීන ප්‍රතිවිපාකවලට වඩා ක්ෂණික තත්වයන්ට ප්‍රමුඛත්වය දෙනු ඇත. මෙයින් අදහස් කරන්නේ තමන්ගේම අනන්‍යතා වර්ධනය කිරීමේ ක්‍රියාවලියේදී සහ සම වයසේ මිතුරන් හා අන් අය සමඟ අර්ථවත් සබඳතා ගොඩනැගීමේදී යොවුන් වියේ පුද්ගලයින් විශාල පීඩනයකින් සහ කාංසාවකින් පීඩා විඳිය හැකි බවයි. නින්ද, පෝෂණය සහ ශාරීරික ක්‍රියාකාරකම් අඩුකම, දුර්වල පවුල් තත්වයන් සහ දෙමාපියන්ගේ නොසලකා හැරීම නිසා ඇති විය හැකි ආතතිය ද යොවුන් වියේ පුද්ගලයෙකුගේ මානසික යහපැවැත්මට සැලකිය යුතු ලෙස බලපෑ හැකිය.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් මානසික සෞඛ්‍ය තත්ත්වයන් වන මානසික අවපීඩනය සහ කාංසාව, යොවුන් වියේ පුද්ගලයන් අතර ආබාධිතභාවයට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇත. මානසික සෞඛ්‍ය ගැටලු ඇති යොවුන් වියේ පුද්ගලයින් සංඛ්‍යාව වැඩිවීමත් සමඟ යොවුන් වියේ පුද්ගලයින්, දෙමාපියන් සහ අධ්‍යාපනඥයින් මානසික රෝග ලක්ෂණ සහ සලකුණු පිළිබඳව වඩාත් දැනුවත් වීම වැදගත් වේ.
යොවුන් වියේදී මානසික සෞඛ්‍ය තත්ත්වයන්හි රෝග ලක්ෂණ:
නිරන්තරයෙන් දුකෙන් සිටීම හෝ මානසිකව කඩා වැටීම.
කෝපය හෝ අධික කෝපය.
නින්ද නොයාම හෝ අධික ලෙස නිදා ගැනීම.
දුර්වල හෝ වැඩි වූ ආහාර රුචිය.
සාමාන්‍යයෙන් නව යොවුන් වියේ ප්‍රීතිය ගෙන දෙන ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව නැති වීම.
අධික ලෙස කනස්සල්ලෙන් සිටීම.
අධික ලෙස බියෙන් සිටීම.
මග හැරීමේ හැසිරීම්.
ඉහත රෝග ලක්ෂණ යොවුන් වියේදී චිත්තවේගීය හෝ මානසික වර්ධනයේ සාමාන්‍ය කොටසක් ද විය හැකි නමුත් ඒවා අධික වශයෙන් පවතියි නම් හෝ ඔවුන්ගේ දෛනික ක්‍රියාකාරකම්වලට බාධා කරන්නේ නම් ඉක්මනින් උපකාර ලබා ගැනීම වැදගත් වේ. මෙවැනි තත්වයන්ට මැදිහත්වීම සඳහා සාමාන්‍යයෙන් ඖෂධ අවශ්‍ය නොවේ. නව යොවුන් වියේ දරුවෙකු සඳහා පළමු සම්බන්ධතා ස්ථානය වන්නේ පාසලයි. එහි උපදේශකයෙකු, විශ්වාසවන්ත ගුරුවරයෙකු හෝ නව යොවුන් වියේ පසුවන මානසික සෞඛ්‍ය සේවා වෙත යොමු කළ හැකි වගකිවයුතු වැඩිහිටියෙකු මේ සඳහා සම්බන්ධ විය හැකිය. උපදේශන සහ මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමවේද සහ චර්යාත්මක ප්‍රතිකාර කෙරෙහි අවධානය යොමු කිරීම මගින් රෝග ලක්ෂණ සැලකිය යුතු ලෙස සමනය කළ හැකි අතර මෙම සංක්‍රාන්ති කාලපරිච්ඡේදය තුළ වඩා හොඳ තීරණ ගැනීමට සහ සංවේදී වූ හැඟීම්වලට සාර්ථකව මුහුණ දීමට නව යොවුන් වියේ දරුවන්ට හැකියාව ලැබේ.
කල්තියා අවධානය යොමු නොකළ හොත් යෞවනයන් අතර දුර්වල මානසික සෞඛ්‍ය යහපැවැත්ම නීති විරෝධී ද්‍රව්‍ය භාවිතය, ස්වයං හානිකර සියදිවි නසාගැනීමේ අදහස් සහ ආහාර ගැනීමේ අක්‍රමිකතා වැනි අවදානම් හැසිරීම් වැඩි වීමට හේතු විය හැක. දෙමාපියන්, අධ්‍යාපනඥයින් සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් මෙම චර්යාත්මක වෙනස්කම් හඳුනාගෙන නිසි ලෙස මැදිහත් වීම වැදගත් වේ. මානසික සෞඛ්‍ය ගැටලු කලින් හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම මෙම ගැටලු උග්‍රවීම වළක්වා ගැනීමට සහ වඩාත් සෞඛ්‍ය සම්පන්න ප්‍රතිඵල ප්‍රවර්ධනය කිරීමට උපකාරී වේ.
ඔබ හෝ ඔබ දන්නා කිසියම් පුද්ගලයෙකු මානසික අවපීඩනය, කාංසාව හෝ ඉහත විස්තර කර ඇති කිසියම් රෝග ලක්ෂණයක් අත්විඳින්නේ නම්, කරුණාකර උපදේශන සේවා සඳහා සම්බන්ධ වන්න.
ආලෝකය උපදේශන මධ්‍යස්ථානය – 32/27, බුලර්ස් පටුමග, කොළඹ 07, +94779895252
ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවය – 1926