ශ්‍රෝණි ආසාදන රෝගය (PID) | The Family Planning Association of Sri Lanka

ශ්‍රෝණි ආසාදන රෝගය (PID)

PID යනු කුමක්ද?

ශ්‍රෝණි ආසාදන රෝගය (PID) යනු ප්‍රජනන පද්ධතියේ ඇතිවන ආසාදනයකි.  (කාන්තාවන්ගේ ඉහළ ලිංගික කලාපය)

ප්‍රතිකාර නොකළ ලිංගිකව සම්ප්‍රේෂණය වූ රෝග සහ නිර්වායු ජීවීන් වැනි ලිංගිකව සම්ප්‍රේෂණය නොවන  රෝග යෝනි මාර්ගයෙන් සහ ගැබ්ගෙලෙන් ගර්භාෂය හා පැලෝපීය නාල වලට පැතිරෙන විට මෙම රෝගය වැළඳිය හැකිය. ශ්‍රෝණි ආසාදන රෝගය බරපතල විය හැකි අතර නිසරුභාවයට පවා හේතු විය හැකිය.

එය වැළදෙන්නේ කෙසේද?

ලිංගිකව සම්ප්‍රේෂණය වී ආසාදනය වන සහ ඉන්පසු පැතිරෙන ක්ලැමිඩියා හෝ ගොනෝරියා වැනි ආසාදනයන් නිසා ශ්‍රෝණි ආසාදන රෝගය ඇතිවිය හැකිය.

ගබ්සාවකින් පසුව හෝ අන්ත ධරාල උපාංගයක් (IUD) ඇතුල් කිරීමෙන්ද ශ්‍රෝණි ආසාදන රෝගය ඇති විය හැකිය. ඔබේ යෝනි මාර්ගය තුළ ඇති සාමාන්‍ය බැක්ටීරියා මගින්ද ශ්‍රෝණි ආසාදන රෝගය වැළඳිය හැකිය.

රෝග ලක්ෂණ මොනවාද?

  • උදරයේ යටි ප්‍රදේශය හෝ කොන්දේ වේදනාව
  • ලිංගික කාර්යය අතරතුර වේදනාව
  • උණ
  • සාමාන්‍ය නොවන ශ්‍රාවයන් පිටවීම
  • වේදනා සහගත සහ අධික ලේ වහනයක් සහිත ඔසප් කාලය.
  • ලිංගික සංසර්ගයෙන් පසු හෝ ඔසප් කාල දෙකක් අතරමැද ලේ වහනය

කෙසේ වෙතත් කිසිදු රෝග ලක්ෂණයක් ඇති නොවීමටද ඉඩ ඇත.

එයට ප්‍රතිකාර මොනවාද?

  • ඔබට ශ්‍රෝණි ආසාදන රෝගය වැළඳී ඇති බව වෛද්‍යවරයා නිගමනය කරන්නේ නම්, ඔබට ප්‍රතිජීවක ඖෂධ මුසුවක්  ලබා දෙනු ඇත. ඔබට සුවයක් දැනීම ආරම්භ  වුවද ප්‍රතිජීවක ඖෂධ සියල්ල අවසන් කිරීම ඉතා වැදගත් ය.
  • ප්‍රතිජීවක ඖෂධ ගන්නාකාලය තුල  ලිංගික සංසර්ගයේ නොයෙදෙන ලෙසට ඔබට උපදෙස් දෙනු ඇත.
  • නැවතත් ලිංගිකව එක් වීමට පෙර ඔබේ හවුල්කරුවාටද ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ආසාදන පරීක්ෂාවක් සිදු කර ප්‍රතිකාර ලබා දිය යුතුය, එසේ නැතහොත් ඔබට නැවතත් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදානයක් ඇති විය හැකිය.
  • ඔබට ශ්‍රෝණි ආසාදන රෝගය වරකට වැඩි ගණනක් ඇති වී තිබේ  නම්, එය නිසරු භාවයට (ගැබ් ගැනීමට අසීරු වීම) බහිෂ්කේතනක ගැබ් ගැනීමට (පැලෝපීය නාලය තුළ ගැබ්ගැනීම), හෝ දීර්ඝ කාලීන වේදනාවක ඇති වීමට හේතු විය හැකිය.

එය මගේ සහකරුවා/වන්ට කෙසේ බලපානු ඇතිද?

ඔබට ශ්‍රෝණි ආසාදන රෝගය වැළඳී ඇත්නම් ඔබ ඔබේ සහකරුවා සමග, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග  ආසාදන පරීක්ෂාව සහ ප්‍රතිකාර සම්බන්ධව සාකච්ඡා කළ යුතුය.

එය අනාගතයේදී වැළඳීමට වලක්වා ගැනීමට මා කුමක් කළ යුතු ද?

  • ආරක්ෂිත ලිංගික එක් වීමකට හුරුවන්න. ඔබ ලිංගිකව එක්වන සෑම විටම කොන්ඩම් භාවිතා කරන්න, ඔබේ සහකරුවන් ගණන සීමා කරන්න සහ සහකරුවෙකු වීමට සිටින අයගේ ලිංගික ඉතිහාසය සම්බන්ධව විමසන්න.
  • ඔබ සහ ඔබේ ලිංගික සහකරුවන් නිරන්තරව ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ආසාදන පරීක්ෂාවන් සිදු කර අවශ්‍ය නම් ප්‍රතිකාර ලබාගන්න.

ආසන්නතම පවුල් සංවිධාන සංගමයේ සායන සොයා ගන්න: https://www.fpasrilanka.org/find-a-clinic


 

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By