ආහාර ගැනීමේ පුරුදු, ශරීරයේ ප්රතිරූපය සහ මානසික සෞඛ්යය තේරුම් ගැනීම
නිසි පෝෂණය යනු අප ගන්නා ආහාර පමණක් නොවේ. එය අප ගන්නා ආහාර, අපගේ ශරීරය ගැන සිතන ආකාරය සහ අපට ඒ පිළිබඳව හැඟෙන ආකාරය මත පදනම් වේ. නව යොවුන් වියේදී සහ තරුණ වියේදී සිදුවන ශාරීරික වෙනස්වීම්, සමාජීය බලපෑම් සහ මානසික පීඩනය නිසා ඇතැම් විට ආහාර රටාවන්ට සහ ස්වයං-ප්රතිරූපයට බලපෑම් එල්ල විය හැකිය. එබැවින්, සංකීර්ණ ආහාර රටාවන්, ආහාර ගැනීමේ ආබාධ තත්ත්වයන් මානසික සෞඛ්ය ගැටලු බවට වර්ධනය වීමට ඉඩ කඩ ඇත.
ආහාර ගැනීමේ ආබාධ සහ පෝෂණ ගැටලු (ප්රශ්න සහ පිළිතුරු)
1. ආහාර ගැනීමේ ආබාධ (Eating disorders) යනු මොනවාද?
ආහාර ගැනීමේ ආබාධ යනු පුද්ගලයෙකුගේ ආහාර ගැනීම, ශරීරයේ බර සහ ස්වයං-ප්රතිරූපය සමඟ පවතින සබඳතාවයට බලපාන තදබල මානසික සෞඛ්ය තත්ත්වයකි. මේවා හුදෙක් "ආහාර පාලන පුරුදු" හෝ ජීවන රටාවේ තේරීම් නොවන අතර මෙම තත්ත්වයන් බොහෝ විට මානසික පීඩනය, කනස්සල්ල හෝ ස්වයං-අභිමානය අවම වීම ආදිය සමඟ බැඳුණු, ආහාර ගැනීම සම්බන්ධයෙන් පවතින සෞඛ්යයට අහිතකර හැඟීම් සහ ක්රියාකාරකම් වේ. ආහාර ගැනීමේ ආබාධ ශාරීරික සෞඛ්යයට, මානසික යහපැවැත්මට, පුද්ගල සබඳතාවලට සහ දෛනික ක්රියාකාරීත්වයට අහිතකර ලෙස බලපෑම් කළ හැක.
2. ඇනෝරෙක්සියා නර්වෝසා (Anorexia Nervosa) යනු කුමක්ද?
ඇනෝරෙක්සියා නර්වෝසා යනු ශරීරයේ බර වැඩිවීම පිළිබඳව ඇති දැඩි බිය නිසා යම් පුද්ගලයෙකු තමන් ගන්නා ආහාර ප්රමාණය අතිශයින් සීමා කරන තත්ත්වයකි. තමන්ගේ බර අඩු මට්ටමක පැවතුණද ඔවුන් තමන්ව දකින්නේ අධික බර සහිත පුද්ගලයෙකු ලෙස වන අතර මෙම විකෘති ශරීර ප්රතිරූපය නිසා ඔවුන් දැඩි ලෙස ආහාර පාලනය කිරීම, ආහාර වේල් මග හැරීම, ඇතැම් ආහාර ගැනීමෙන් වැළකීම හෝ ආහාර පාලනය කිරීමට අධික ලෙස උත්සාහ කිරීම දක්නට ලැබේ. කාලානුරූපීව මෙම තත්ත්වය මන්දපෝෂණය, දුර්වලබව, හෝමෝන වෙනස්කම් සහ අභ්යන්තර ශරීර අංගයන්ට හානි සිදුවීම වැනි බරපතල ශාරීරික සංකූලතාවලට හේතු විය හැක.
3. 'බුලිමියා නර්වෝසා' (Bulimia Nervosa) යනු කුමක්ද?
බුලිමියා නර්වෝසා යනු පුද්ගලයෙකුට ඉතා වේගයෙන් විශාල ආහාර ප්රමාණයක් අනුභව කිරීමට දැඩි පෙළඹවීමක් ඇතිවී, එම ක්රියාව නතර කරගත නොහැකි බවක් දැනීම සහ ඉන්පසු වමනය කිරීම, කුසගින්නේ සිටීම හෝ අධික ලෙස ව්යායාම කිරීම මගින් එම ආහාර ගැනීමේ බලපෑම "මකා දැමීමට" උත්සාහ කරන චක්රීය තත්ත්වයකි. බුලිමියා තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන්ට ආහාර ගන්නා අවස්ථාවේදී තමන්ගේ පාලනය ගිලිහී ගිය බවක් හැඟෙන අතර, ඉන් පසුව වරදකාරී හැඟීමක්, ලැජ්ජාවක් හෝ මානසික පීඩනයක් ඇති වේ. ඇනෝරෙක්සියා තත්ත්වයට වඩා වෙනස් වන අතර ශරීරයේ බර අඩු බවක් නොපෙනෙන බැවින් මෙම ආබාධය හඳුනා ගැනීම වඩාත් අපහසු වේ.
4. ඇනෝරෙක්සියා සහ බුලිමියා තත්ත්වයන්ට හේතු වන්නේ මොනවාද?
ආහාර ගැනීමේ ආබාධ සඳහා එක තනි හේතුවක් නැත. සාමාන්යයෙන් මෙම තත්ත්වයන් ජීව විද්යාත්මක, මානසික සහ සමාජයීය සාධකවල එකතුවක් නිසා වර්ධනය වේ. නිශ්චිත බාහිර පෙනුමක් පවත්වා ගැනීමට ඇති සමාජ බලපෑම, බාහිර පෙනුම පිළිබඳව මාධ්ය මගින් ඉස්මතු කරන යථාර්ථවාදී නොවන පරාමිතීන් පිලිබඳ ඇති අවධානය, ශරීර ප්රමාණය පිළිබඳව විහිළු තහළුවලට ලක්වීම, මානසික පීඩනය ගෙන දෙන අත්දැකීම්, සර්වසම්පුර්ණ බාහිර පෙනුමක් පිලිබඳ අපේක්ෂාව හෝ කනස්සල්ල හා විශාදය වැනි මානසික සෞඛ්ය තත්ත්වයන් ද මේ හරහා ඇතුළත් විය හැක. එමෙන්ම, ජානමය තත්ත්වයන් සහ පවුල් පසුබිම ද මෙය සඳහා හේතු විය හැකිය.
5. පූර්ව අනතුරු ඇඟවීමේ ලක්ෂණ මොනවාද?
අනතුරු ඇඟවීමේ ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි නමුත් සාමාන්යයෙන් පහත සඳහන් තත්ත්වයන් දැකිය හැකිය.
6. මෙම අවදානමට වැඩියෙන්ම ගොදුරු වන්නේ කවුද?
ස්ත්රී පුරුෂ භාවය, වයස හෝ පසුබිම කුමක් වුවත් ඕනෑම කෙනෙකුට ආහාර ගැනීමේ ආබාධ ඇති විය හැක. කෙසේ නමුත්, යොවුන් වියේදී සිදුවන ශාරීරික වෙනස්කම්, සමවයස් කණ්ඩායම්වල බලපෑම සහ සමාජ මාධ්ය භාවිතය නිසා නවයොවුන් වියේ පසුවන්නන් සහ තරුණ තරුණියන් මෙයට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතී. ස්වයං අභිමානය අඩු, අධ්යාපනික හෝ පුද්ගලික හේතුන් මත අධික පිඩනයකින් සිටින පුද්ගලයන් සහ සමාජයේ සමච්චලයට ලක්වූ හෝ පවුල තුළ මානසික පීඩනයන් සහිත පුද්ගලයන් මේ සම්බන්ධව වැඩි අවදානමකට ලක්වේ.
7. ආහාර ගැනීමේ ආබාධ ශරීර සෞඛ්යයට බලපෑම් කළ හැකිද?
ඔව්. ආහාර ගැනීමේ ආබාධ මගින් ශරීරයට බරපතල මෙන්ම ඇතැම් විට ජීවිතයට පවා තර්ජනයක් වන බලපෑම් ඇති කළ හැක. මන්දපෝෂණය, වෙහෙසකර බව, ක්ලාන්තය, ආහාර ජීරණ පද්ධතියේ ගැටලු, ප්රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම, හෘදයාබාධ, සංකූලතා, හෝමෝන අසමතුලිතතාවය සහ තරුණ වියේ පසුවන්නන්ගේ වර්ධනය බාල වීම හෝ ප්රමාද වීම මෙයට ඇතුළත් වේ. එමෙන්ම, මානසික සෞඛ්යයට ද බලපෑම් ඇති කරමින් කනස්සල්ල, විශාදය සහ සමාජයෙන් කොන්වීම වැනි තත්ත්වයන්ට පත්වීමේ ඉඩකඩ පවතියි.
8. ආහාර ගැනීමේ ආබාධ සඳහා ප්රතිකාර කළ හැකිද?
ඔව්. ආහාර ගැනීමේ ආබාධ සඳහා ප්රතිකාර කළ හැකි අතර නිසි ප්රතිකාර ලබා ගැනීමෙන් සුවය ලැබිය හැක. සාමාන්යයෙන් ප්රතිකාර සඳහා මානසික උපදේශනය, නිසි පෝෂණය ලබාදීම සහ වෛද්ය ප්රතිකාර ඒකාබද්ධව නිර්දේශ කෙරේ. මෙම තත්ත්වයේ මුල් අවධියේදීම මැදිහත් වීම ඉතා වැදගත් වන අතර එමගින් සුවය ලැබීමේ හැකියාව වැඩි කරයි. පවුලේ අයගේ, මිතුරන්ගේ සහ සෞඛ්ය වෘත්තිකයන්ගේ සහයෝගය සුවය ලැබීමේ ක්රියාවලියේදී ප්රධාන කාර්යභාරයක් ඉටු කරයි.
9. ආහාර ගැනීමේ ආබාධයක් සහිත අයෙකුට සහය වන්නේ කෙසේද?
එවැනි අයෙකුට සහය වීම සඳහා ඉවසීම සහ අවබෝධය අත්යවශ්ය සාධකයක් වේ. ඔවුන්ගේ බාහිර පෙනුම හෝ බර ගැන අවධානය යොමු කිරීමෙන් වැළකිය යුතු අතර ඒ වෙනුවට, විනිශ්චය කිරීමෙන් තොරව ඔවුන්ට සවන් දෙමින් වෘත්තීයමය සහය ලබා ගැනීමට ඔවුන්ව උනන්දු කරවිය යුතුය.
ආහාර ගන්නා ලෙස බල කිරීමෙන් හෝ ඔවුන්ගේ හැසිරීම් විවේචනය කිරීමෙන් වළකින්න. ඔවුන් ගැන සැලකිලිමත් වන බව පෙන්වීම සහ ඔවුන් සමඟ සිටීම වැනි සරල ක්රමවලින් ඔවුන්ට මානසික සහයෝගය ලබාදෙමින් ඔවුන්ට විශාල ශක්තියක් ලබා දිය හැක.
10. මෙවැනි තත්ත්වයන් සඳහා ශ්රී ලංකාව තුළ උපකාර ලබාගත හැකි ස්ථාන මොනවාද?
මෙම ගැටලුව ඔබ තනිවම මුහුණ දියයුතු තත්ත්වයක් නොවේ. පෝෂණය, ආහාර ගැනීමේ පුරුදු, ශරීරයේ බාහිර පෙනුම හෝ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ගැටලු ඇති ඕනෑම පුද්ගලයෙක් සඳහා ඔබගේ රහස්යභාවය සුරැකෙන පරිදි අවශ්ය සහය ලබාගත හැකි අතර අපගේ උපදේශකයන් සහ පෝෂණ විශේෂඥයන් ඇතුළු පුහුණු වෘත්තිකයන් හරහා උපකාර ලබාගත හැක.
තරුණ තරුණියන්ගේ ශාරීරික හා මානසික යහපැවැත්ම උදෙසා විනිශ්චයන්ගෙන් තොර පෞද්ගලික උපදේශනය, මාර්ගෝපදේශනය සහ සහාය ලබා ගැනීමට ශ්රී ලංකා පවුල් සංවිධාන සංගමයේ (FPA Sri Lanka) 'Happy Life' ඇමතුම් මධ්යස්ථානය හා සම්බන්ධ විය හැක. සෞඛ්ය සම්පන්න ආහාර රටාවන් පවත්වා ගැනීම සහ අවශ්යතාවයන්හිදී යථා තත්ත්වයට පත්වීම) සඳහා වන වෘත්තීයමය මගපෙන්වීම්, සුදුසුකම් ලත් පෝෂණවේදීන් හරහා ලබා ගැනීමේ පහසුකම් ද FPA ආයතනය මගින් සලසා ඇත.
පහත සඳහන් දුරකථන අංක ඔස්සේ ඔබට අපගේ සේවාවන් ලබාගත හැක:
077 955 2979 - බ්ලූම් වෛද්ය සායනයේ (Bloom Medical Clinic)
076 588 4881 / 076 588 4882 – Happy Life ඇමතුම් මධ්යස්ථානය (දුරකථන ඇමතුම් හෝ WhatsApp මගින් සම්බන්ධවිය හැකිය)
077 989 5252 - ආලෝකය උපදේශන මධ්යස්ථානය
මෙම සියලුම සේවාවන් ඉහළම රහස්යභාවයකින් යුතුව සපයනු ලබන අතර, සුරක්ෂිත මෙන්ම ගෞරවනීය පරිසරයක් තුළ ඔබේ පූර්ණ යහපැවැත්ම තහවුරු කිරීමට අප කැපවී සිටිමු.