නින්ද, ඩිජිටල් තිර කාලය (Screen Time) සහ ඩිජිටල් සමබරතාවය | The Family Planning Association of Sri Lanka

නින්ද, ඩිජිටල් තිර කාලය (Screen Time) සහ ඩිජිටල් සමබරතාවය

රාත්‍රී කාලයේ දීර්ඝ වේලාවක් දුරකථනය භාවිත කිරීම (Late-night scrolling), ප්‍රමාණවත් නොවන නින්ද සහ නොනවත්වා තිරය දෙස බලා සිටීම මගින් ඔබේ මානසික යහපැවැත්ම, ශක්තිය සහ අවධානය යොමු කිරීමේ හැකියාවට බලපෑම් ඇති කළ හැක. නින්ද සහ ඩිජිටල් ජීවිතය අතර සමබරතාවය පවත්වා ගැනීමට පුරුදු වීම මගින් ඔබට වඩාත් යහපත් මානසික සුවයක් මෙන්ම දෛනික කටයුතු සාර්ථකව පවත්වා ගැනීමේ හැකියාව ද ලැබේ.

1. නින්ද සහ ඩිජිටල් තිර කාලය මානසික සෞඛ්‍යයට සම්බන්ධ වන්නේ ඇයි?

නින්ද සහ තිරය භාවිත කිරීමේ පුරුදු මගින් මොළයේ සහ ශරීරයේ ක්‍රියාකාරීත්වයට සෘජුවම බලපෑම් එල්ල කරයි. ප්‍රමාණවත් නොවන නින්ද හෝ අධික ලෙස තිරය දෙස බලා සිටීම නිසා මානසික පීඩනය, කනස්සල්ල, මන්දගාමී බව වැඩි විය හැකි අතර අවධානය යොමු කිරීමේ හැකියාව අඩු වේ. එබැවින්, නිසි සමබරතාවයක් පවත්වා ගැනීම මගින් මානසික ඒකාග්‍රතාවය සහ සමස්ත යහපැවැත්ම තහවුරු වේ.

2. අධික ලෙස තිර කාලය වැය කිරීම තරුණ පරපුරට බලපාන්නේ කෙසේද?

අධික ලෙස තිරය දෙස බලා සිටීම නිසා මානසික වෙහෙස, අවධානය පවත්වා ගැනීමේ කාලය අඩුවීම, ඇස්වලට වෙහෙස දැනීම මෙන්ම සමාජ මාධ්‍ය හරහා අන් අය සමඟ තමන්ව සැසඳීමට යාමෙන් මානසික පීඩනය ආදී තත්ත්වයන් ඇති විය හැකිය. එමෙන්ම, විවේකය, ශාරීරික ක්‍රියාකාරකම් සහ සැබෑ ජීවිතයේ සමාජීය සබඳතා සඳහා ඇති කාලය ද මේ හරහා අවම කරයි.

3. සමාජ මාධ්‍ය මගින් නින්දට බලපෑම් කළ හැකිද?

ඔව්. රාත්‍රී කාලයේදී දුරකථන හෝ සමාජ මාධ්‍ය භාවිත කිරීම නිසා මොළය සක්‍රීයව පවතින බැවින් නින්ද යාම ප්‍රමාද වේ. තවද, තිරයෙන් නිකුත් වන නිල් ආලෝකය මගින් නින්ද ලබා ගැනීමට උපකාරී වන හෝමෝනයක් වන මෙලටොනින් ශ්‍රාවය වීම අඩු කරයි.

4. මානසික යහපැවැත්ම සඳහා නින්ද වැදගත් වන්නේ ඇයි?

නින්ද මගින් මොළයේ හැඟීම් පාලනය කිරීමට, මානසික පීඩනය අඩු කිරීමට සහ ශක්තිය නැවත ලබා ගැනීමට උපකාරී වේ. නින්ද නොමැති වීම නිසා පුද්ගලයන් පහසුවෙන් කෝපයට පත්වීම, කනස්සල්ලට පත්වීම, අතිශය සංවේදී වීම හෝ මානසිකව පීඩාවට පත්වීම සිදු විය හැක.

5. තරුණ පරපුරට රාත්‍රියකට පැය කීයක නින්දක් අවශ්‍යද?

බොහෝ නවයොවුන් වියේ පසුවන්නන්ට සහ තරුණ තරුණියන්ට රාත්‍රියකට පැය 7ත් 9ත් අතර නින්දක් අවශ්‍ය වේ. හුදෙක් නින්ද ලබා ගන්නා පැය ගණනට වඩා නිසි වේලාවට නින්දට යාමේ පුරුද්ද අඛණ්ඩව පවත්වා ගැනීම අතිශය වැදගත් වේ.

6. අක්‍රමවත් නින්දක හඳුනාගත හැකි ලක්ෂණ මොනවාද?

  • අවදි වූ පසුව තෙහෙට්ටුවක් දැනීම
  • අවධානය යොමු කිරීමේ අපහසුව
  • මානසික තත්ත්වයේ ක්ෂණික වෙනස්වීම් හෝ කෝපයට පත්වීම
  • ප්‍රමාද වී නින්ද යාම හෝ නිතර නිතර නින්දෙන් අවදි වීම
  • රාත්‍රී බොහෝ වේලාවක් යනතුරු දුරකථනය භාවිතා කිරීම


7. තිර කාලය මානසික සෞඛ්‍යයට බලපෑම් කරන්නේ කෙසේද?

අධික ලෙස තිරය දෙස බලා සිටීම නිසා මානසික පීඩනය, කනස්සල්ල මෙන්ම අන් අය සමඟ තමන්ව සැසඳීමේ ප්‍රවණතාව ඉහළ යා හැක. තවද, සමාජ මාධ්‍ය තුළ දැකිය හැකි යථාර්ථවාදී නොවන රූපරාමු සහ නොනවත්වා ඇතිවන ඩිජිටල් පීඩනය හේතුවෙන් පුද්ගලයාගේ ස්වයං-අභිමානය පවා පහත වැටීමට ඉඩ ඇත.

8. 'ඩිජිටල් තිරය හේතුවෙන් ඇතිවන මානසික වෙහෙස' (Digital Burnout) යනු කුමක්ද?

'ඩිජිටල් තිරය හේතුවෙන් ඇතිවන මානසික වෙහෙස' යනු නොනවත්වා දුරකථන භාවිතය, නිතර නිතර පණිවුඩ සම්බන්ධව ලැබෙන නිවේදන (Notifications) සහ අධික අන්තර්ජාල ක්‍රියාකාරකම් හේතුවෙන් පුද්ගලයෙකුට ඇතිවන දැඩි මානසික සහ ශාරීරික වෙහෙසයි. මේ නිසා නිරන්තර තෙහෙට්ටුව, වැඩ කිරීමට ඇති උද්‍යෝගය අඩුවීම සහ අධික මානසික පීඩනය ඇති විය හැක.

9. සුව නින්දක් සඳහා තිරයේ බලපෑම අවම කරගැනීමට ඔබට කළ හැක්කේ කුමක්ද?

  • නින්දට යාමට මිනිත්තු 30-60 කට පෙර ජංගම දුරකථන සහ අනෙකුත් ඩිජිටල් තිර භාවිතය නතර කරන්න
  • දිනපතා එකම වේලාවකට නින්දට යාමට සහ අවදි වීමට පුරුදු වන්න.
  • රාත්‍රී කාලයේදී දුරකථනය ඇඳ අසල තබා ගැනීමෙන් වළකින්න
  • නින්දට බාධා වන පරිදි රාත්‍රිය පුරා දුරකථනය භාවිත කිරීම පාලනය කරන්න
  • නින්දට පෙර පොතක් කියවීම හෝ ශාන්ත සංගීතයකට සවන්දීම වැනි මනස සැහැල්ලු කරන ක්‍රියාකාරකම්වල නිරත වන්න


10. සහය ලබාගත යුත්තේ කෙසේද?

අක්‍රමවත් නින්ද සහ ඒ සම්බන්ධ පුරුදු, අධික ඩිජිටල් තිර කාලය හෝ ඩිජිටල් මානසික වෙහෙස මගින් ඔබේ මානසික පැවැත්ම, අධ්‍යාපනය, පුද්ගලික සබඳතා හෝ ශරීර සෞඛ්‍යය වැනි දෛනික ජීවිතයට බලපෑම් ඇති කරන්නේ නම් ඒ සඳහා වෘත්තීය මට්ටමේ සහය ලබා ගැනීම ඉතා වැදගත් වේ. උපදේශකයෙකු හෝ සෞඛ්‍ය වෘත්තිකයෙකු සමඟ සාකච්ඡා කිරීම මගින් ඔබේ තත්ත්වය නිසි ලෙස වටහා ගැනීමටත්, ඔබට වඩාත් ගැලපෙන සෞඛ්‍ය සම්පන්න පුරුදු සකස් කර ගැනීමටත් උපකාරී වේ.

පහත සඳහන් දුරකථන අංක ඔස්සේ ඔබට අපගේ සේවාවන් ලබාගත හැක:

077 955 2979 - බ්ලූම් වෛද්‍ය සායනයේ (Bloom Medical Clinic)

076 588 4881 / 076 588 4882 – Happy Life ඇමතුම් මධ්‍යස්ථානය (දුරකථන ඇමතුම් හෝ WhatsApp මගින් සම්බන්ධවිය හැකිය)

077 989 5252 - ආලෝකය උපදේශන මධ්‍යස්ථානය

මෙම සියලුම සේවාවන් ඉහළම රහස්‍යභාවයකින් යුතුව සපයනු ලබන අතර, සුරක්ෂිත මෙන්ම ගෞරවනීය පරිසරයක් තුළ ඔබේ පූර්ණ යහපැවැත්ම තහවුරු කිරීමට අප කැපවී සිටිමු.

 

Author

The Family Planning Association of Sri Lanka

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2026 | Family Planning Association All Rights Reserved
As Imagined By