ලිංගික හිංසනය සහ ලිංගික අතවර: ඔබට සහ අන් අයට සහය වන්නේ කෙසේද? | The Family Planning Association of Sri Lanka

ලිංගික හිංසනය සහ ලිංගික අතවර: ඔබට සහ අන් අයට සහය වන්නේ කෙසේද?

ලිංගික හිංසනය සහ ලිංගික අතවර යනු අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙන වචන වන නමුත්, ඒවායින් සැබවින්ම අදහස් කරන්නේ කුමක්ද?

ලිංගික හිංසනය විවිධ ආකාරවලින් සිදුවිය හැකි අතර අනවශ්‍ය ලිංගික යෝජනා, ලිංගික අදහස් (මහමගදී සිදුවන හිරිහැර ඇතුළුව), සහ කැමැත්තකින් තොරව සිදුවන ශාරීරික ස්පර්ශයන් පවා ඊට ඇතුළත් වේ. ලිංගික අතවර යනු, ස්ත්‍රී දූෂණය ඇතුළුව, කැමැත්තකින් තොරව සිදුකරන ඕනෑම ආකාරයක ලිංගික ක්‍රියාවකි.

2024 වසරේදී ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට එරෙහිව ලිංගික හිරිහැර කිරීමේ සිද්ධීන් 2200කට වැඩි ප්‍රමාණයක් වාර්තා විය. මෙම ක්‍රියා ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධ බවට පත් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලිංගික හිංසන සහ ලිංගික අතවරවලින් ආරක්ෂාව සහතික කරයි. ශ්‍රී ලංකා රජය ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය මැඩලීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ද සකස් කර ඇති අතර එයින් වින්දිතයින්ට උපකාර ලබා ගැනීමට සම්බන්ධීකරණ පද්ධතියක් ද ස්ථාපිත කර ඇත. මේ සඳහා කාන්තා සංවර්ධන නිලධාරීන්, පුහුණු පොලිස් ඒකක සහ නීති ආධාර සේවා සමඟ සම්බන්ධ වීම ඇතුළත් වේ. කෙසේ වෙතත්, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව තිබියදීත්, සමාජ අපවාද, පළිගැනීම්වලට ඇති බිය සහ පවතින සහයෝගය පද්ධති පිළිබඳ දැනුවත්භාවයක් නොමැතිකම හේතුවෙන් වාර්තා වීම අඩු මට්ටමක පවතී.

ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට ලිංගික හිංසනයක් සහ ලිංගික අතවරයක් සිදුවුවහොත් කළ යුතු දේ පිළිබඳ පියවරෙන් පියවර මාර්ගෝපදේශයක් පහත දැක්වේ.

ඔබට ලිංගික හිංසනයක් සහ ලිංගික අතවරයක් සිදුවුවහොත් කළ යුතු දේ:

  • ආරක්ෂිත ස්ථානයක් සොයා ගන්න – ඔබේ යහපැවැත්ම වඩාත් වැදගත් වේ.

  • අවශ්‍ය නම්, ළඟම ඇති රෝහලෙන් හෝ සායනයකින් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.

  • සිදුවීම පිළිබඳව ලේඛනගත කරන්න – ඔබ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කරන්නේ නම්, සාක්ෂි ලෙස සටහන්, පණිවිඩ සහ පින්තූර තබා ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත.

  • ලිංගික හිංසන සහ ලිංගික අතවර දිවි ගලවා ගත් අයට සහය දක්වන සංවිධානයක් සමඟ කතා කරන්න, ඒවා නම්:

    විමෙන් ඉන් නීඩ් (Women in Need) – දුරකථන අංකය: 0775676555

    සී.සී.සී ලයින් (CCC line) – දුරකථන අංකය: 1333

    ලංකා ලයිෆ් ලයින් (Lanka Lifeline) – දුරකථන අංකය: 1375

ඉහත සඳහන් සියලුම සංවිධාන විසිහතර පැයේ (24/7) ක්‍රියාත්මක වන අතර නීතිමය මග පෙන්වීම (පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනු කිරීම ඇතුළුව), නවාතැන් පහසුකම්, වෛද්‍ය ප්‍රතිකාර, මානසික සහය සහ කම්පන සහගත තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබා දීම සිදු කරයි.

  • සුදුසු කෙනෙකු සමඟ කතා කරන්න – වෘත්තීය මට්ටමේ පුද්ගලයෙකුගෙන් උපදේශනය ලබාගැනීම සුවය ලැබීමේ වැදගත් කොටසකි.

ඔබ දන්නා කෙනෙකුට ලිංගික හිංසනයක් හෝ ලිංගික අතවරයක් සිදුවුවහොත් කළ යුතු දේ:

ඔබ දන්නා කෙනෙකු ලිංගික හිංසනයකට හෝ ලිංගික අතවරයකට ලක්වූවී තිබේ නම්, ඔබේ ප්‍රතිචාරය ඔවුන්ගේ සුවවීමේ ගමනට සැලකිය යුතු ලෙස බලපෑම් කළ හැකිය. ඔබට ගත හැකි වැදගත් පියවර කිහිපයක් පහතින් දක්වා ඇත:

  • ප්‍රථමයෙන් විනිශ්චයකින් තොරව සවන් දෙන්න, ඔවුන්ව විශ්වාස කර සහයෝගය ලබා දෙන්න.

  • ඔවුන් එකඟ වන්නේ නම්, රෝහලට, පොලිස් ස්ථානයට හෝ උපදේශකවරයෙකු හමුවීම සඳහා ඔවුන් සමඟ යාමට ඉදිරිපත් වන්න.

අද වනවිටත් ශ්‍රී ලංකාවේ ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ වාර්තා වැඩි වෙමින් පවතී. එය මැඩලීම සඳහා දැනුවත්භාවය ඉහළ නැංවීමෙන් සහ සංස්කෘතික වෙනස්කම් සිදු කරන උපාය මාර්ග සංවර්ධනය කිරීමෙන් සමාජය තුළ සාමූහික වෙනසක් ඇති කිරීම වැදගත් වේ. මෙයට නව යොවුන් වියේ සහ තරුණ තරුණියන් සඳහා පුළුල් ලිංගික අධ්‍යාපනය ඇතුළත් කිරීම, හිංසනය වැළැක්වීම සඳහා පාසල් සහ සේවා ස්ථානවල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ වින්දිතයාට දොස් පැවරීමේ හැසිරීම්වලට විවෘතව අභියෝග කිරීම ආදිය ඇතුළත් වේ. සම්මුතිය සහ ගෞරවය තේරුම් ගන්නා පරම්පරාවක් ඇති කිරීමට ප්‍රජා නායකයින්, දෙමාපියන් සහ අධ්‍යාපනඥයින් අතර දැනුවත්භාවය වැඩි කිරීම ද අතිශයින් වැදගත් ය.

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක්වන පුද්ගලයන්ට සහය දැක්වීමට කැපවී සිටින අතර, උපකාර අපේක්‍ෂා කරන සියලු දෙනා සඳහා විනිශ්චයකින් තොර සහ ආරක්ෂිත අවකාශයක් සහතික කිරීම සඳහා පුහුණු කාර්ය මණ්ඩලයක් එහි සිටී. උපදේශකවරයෙකු හෝ වෛද්‍ය වෘත්තිකයෙකු සමඟ කතා කිරීමට පවුල් සංවිධාන සංගමයේ පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානය හෝ ආලෝකය උපදේශන මධ්‍යස්ථානය අමතන්න (+94112555455, අංක 37/27, බුලර්ස් පටුමග, කොළඹ-07)

 

Author

The Family Planning Association of Sri Lanka

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2025 | Family Planning Association All Rights Reserved
As Imagined By