මම ශාරීරිකව සූදානම්ද?
මම මානසිකව සූදානම්ද?
මෙම සම්බන්ධතාවය තුළ මට ආරක්ෂාවක් දැනෙනවාද?
මට ආරක්ෂාව ලැබේද?
ඉහත සඳහන් වන්නේ ලිංගික එක්වීමක් සඳහා තීරණය කිරීමේදී යම්කිසි පුද්ගලයෙකුගේ මනසේ ඇතිවිය හැකි ප්‍රශ්න කිහිපයක් පමණි. එය ඉතා පෞද්ගලික තීරණයක් වන නමුත් ආරක්ෂිත සමීප සම්බන්ධතා සහතික කිරීම සඳහා ඉතා වැදගත් වන අතර එය සැහැල්ලුවෙන් නොගත යුතුය. මෙවැනි තීරණයකදී මානසික සූදානම, ආරක්ෂාව, ශාරීරික සෞඛ්‍යය, සන්නිවේදනය සහ කැමැත්ත ඇතුළු සාධක සැලකිල්ලට ගැනීම අතිශය වැදගත් වේ.
නිරෝගී ලිංගික අත්දැකීමක් සඳහා මානසික සූදානම සහ හැඟීම්වල පරිණතභාවය වැදගත් වේ. මානසික සූදානම යනු ලිංගිකත්වය සම්බන්ධයෙන් ඔබේ සහ ඔබේ සහකරුගේ හැඟීම් සහ අපේක්ෂාවන් අවංකව තේරුම් ගැනීමට හැඟීම්වල පරිණතභාවය තිබීමයි. මෙසේ හැඟීම්වල පරිණතභාවය තිබීම ඔබට සහ ඔබේ සහකරුට ලිංගික එක්වීමකින් අනතුරුව සිදුවියහැකි ඕනෑම තත්වයක් එනම් සම්බන්ධතා වෙනස්වීම්, ගැබ් ගැනීමක් හෝ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් (STI) වැනි දේ සඳහා මුහුණදීමට ඇති හැකියාව සහතික කරයි.
ඕනෑම සම්බන්ධතාවයකට සන්නිවේදනය සහ කැමැත්ත අත්‍යවශ්‍ය වන අතර ලිංගික සම්බන්ධතාවයකට මෙය විශේෂයෙන්ම වැදගත් වේ. මානසික සූදානම තක්සේරු කිරීමේදී මෙන් ලිංගික එක්වීමකට එළඹීමට පෙර තම සහකරුගේ හැඟීම්, රුචි අරුචිකම් සහ සමීප බව සම්බන්ධයෙන් සීමා තේරුම් ගැනීම සහ ගරු කිරීම විවෘතව කථා කිරීම ඊට ඇතුළත් වේ. සන්නිවේදනය සම්බන්ධතාවය ශක්තිමත් කරන අතර සහභාගිවන්නාට සුවපහසු, ගෞරවනීය සහ ආරක්ෂිත හැඟීමක් ඇති කරයි. කැමැත්ත සාකච්ඡා කළ නොහැකි මෙන්ම එය බලහත්කාරයෙන් තොරව නිදහසේ ලබා දිය යුතුය. එසේම කැමැත්ත සැමවිටම නිශ්චිතව දැනුවත්ව, උද්යෝගිමත් ලෙස ලබා දිය යුතු ය. පැහැදිලි එකඟතාවයකින් සහ සන්නිවේදනයකින් තොරව සිදුවන ලිංගික එක්වීම වරදවා වටහාගැනීම් හා හානිදායක තත්වයන්ට හේතු විය හැකිය.
ඔබගේ සහ ඔබේ සහකරුගේ ශාරීරික සෞඛ්‍යය පිළිබඳ මනා අවබෝධයක් තිබීම ආරක්ෂිත එක්වීමකට හෝ සම්බන්ධතාවයක් සහතික කිරීම සඳහා තවත් ප්‍රධාන සාධකයකි. ලිංගිකව සම්ප්‍රේෂණය වන අසාදන (STIs) සඳහා පරීක්ෂණ ඇතුළත් නිතිපතා සිදුකරන සෞඛ්‍ය පරීක්ෂාවන් සහකරුවන් දෙදෙනාගේම ආරක්ෂාව සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ. සහකරුගේ ලිංගිකව සම්ප්‍රේෂණය වන අසාදන තත්ත්වය අවිනිශ්චිත නම් කොන්ඩම් වැනි උපත් පාලන ක්‍රමයක් භාවිතා කිරීම ලිංගිකව සම්ප්‍රේෂණය වන අසාදන පැතිරීම වළක්වන අතර අනවශ්‍ය ගැබ් ගැනීම්ද වළක්වයි. ලිංගික එක්වීමකට පෙර පවතින උපත් පාලන ක්‍රම පිළිබඳව දැනුවත් වීම තමන්ව ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රයෝජනවත් වේ.
බොහෝ රටවල, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ලිංගික එක්වීමක් සඳහා සුදානම් වීමේදී රටේ සංස්කෘතිය හා සමාජයමය සාධක දැඩි ලෙස බලපායි. එබැවින් මෙවැනි බලපෑම් තර්කානුකූලව විශ්ලේෂණය කොට සමාජයමය සාධක හා සම වයසේ කණ්ඩායම්වල පීඩනයට යටත් නොවී ඔබේ විශ්වාසයන් සහ වටිනාකම් මත පදනම් වූ තේරීම් කිරීම වැදගත් වේ. ශ්‍රී ලංකාවේ ගැහැණු ළමුන් සඳහා ලිංගික සම්මුතියේ නීත්‍යානුකූල වයස අවුරුදු 16 කි (පිරිමි ළමුන් සඳහා කැමැත්ත ලබා දීමේ වයසක් සපයා නැත). කෙසේ වෙතත්, ඉහත සාකච්ඡා කළ පරිදි ලිංගිකව එක්වීමකට සූදානම් වීම, විශේෂයෙන් තරුණ වියේදී බිය උපදවන සුළු විය හැකි බැවින් ලිංගිකව එක්වීමකට පෙර කෙනෙකුගේ මානසික හා ශාරීරික යහපැවැත්ම මෙන්ම සමාජීය අංශයන් පිළිබඳවද සලකා බැලීම ඉතා වැදගත් වේ. ශ්‍රී ලංකාවේ ලිංගිකත්වය බොහෝ විට විවෘතව සාකච්ඡා නොකරන තහනම් මාතෘකාවක් වන නමුත් මෙම බාධකය බිඳ දමා ලිංගිකත්වය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා විවෘත සංවාද පැවැත්වීම සහ ලිංගික එක්වීම් සම්බන්ධයෙන් වඩාත් සෞඛ්‍ය සම්පන්න ආකල්ප සහ පුරුදු ඇති කර ගැනීම වැදගත් වේ.
විකල්ප උපත් පාලන ක්‍රම, ලිංගිකව සම්ප්‍රේෂණය වන අසාදන (STIs) සඳහා පරීක්ෂණ හෝ ලිංගික සූදානම පිළිබඳව උපදේශකයෙකු සමඟ කතා කිරීම සඳහා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානය හෝ ආලෝකය උපදේශන මධ්‍යස්ථානය අමතන්න (+94112555455, නො, 37/27, බුලර්ස් පටුමග, කොළඹ 07 ).