පූර්ව ආර්තවහරණ සමය රෝග ලක්ෂණ, වෙනස්කම් සහ අපේක්ෂා කළ හැකි තත්ත්වයන්. | The Family Planning Association of Sri Lanka

පූර්ව ආර්තවහරණ සමය රෝග ලක්ෂණ, වෙනස්කම් සහ අපේක්ෂා කළ හැකි තත්ත්වයන්.

ආර්තවහරණය එකවරම සිදුවන්නක් නොවේ. ආර්තවහරණයට පෙර ගෙවී යන වසර කිහිපය පූර්ව ආර්තවහරණය ලෙස හඳුන්වන අතර මෙම සංක්‍රාන්ති සමයේදී ඔසප් චක්‍රය, නින්ද, මානසික ස්වභාවය, ලිංගික සෞඛ්‍යය මෙන්ම සමස්ත ශාරීරික සුවතාවයේද වෙනස්කම් ඇති විය හැකිය.

පූර්ව ආර්තවහරණය පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගැනීමෙන් ඔබේ ශරීරයේ සිදුවන වෙනස්කම් හඳුනා ගැනීමටත්, සාමාන්‍ය වෙනස්කම් සහ වෛද්‍ය උපදෙස් ලබාගත යුතු රෝග ලක්ෂණ වෙන්කර හඳුනා ගැනීමටත් ඔබට උපකාරී වේ.

1. පූර්ව ආර්තවහරණය යනු කුමක්ද?

පූර්ව ආර්තවහරණය යනු සංක්‍රාන්ති කාලපරිච්ඡේදයක් වන අතර මෙය ආර්තවහරණයට පෙර කාලසීමාවයි. මෙම කාලය තුළ ඩිම්බකෝෂ මගින් හෝමෝන නිපදවීම අවිනිශ්චිත වන අතර ඊස්ට්‍රජන් වැනි හෝමෝන මට්ටම්වල වෙනස්වීම් සිදුවිය හැකිය.

මෙම කාලයේදී ඔසප් වීම අක්‍රමවත් විය හැකි අතර ඔසප් වීම සම්පූර්ණයෙන්ම නැවතී නොමැති වුවද ආර්තවහරණයට අදාළ ලක්ෂණ ඉස්මතු වීමට පටන් ගත හැකිය.

2. පූර්ව ආර්තවහරණය ආරම්භ වන්නේ කුමන කාල සීමාවකදී ද?

පූර්ව ආර්තවහරණය, ආර්තවහරණය සිදුවීමට වසර කිහිපයකට පෙර ආරම්භ විය හැකි අතර එය සාමාන්‍යයෙන් වයස අවුරුදු 40 ආශ්‍රිත කාලවකවානුවේදී සිදුවේ. කෙසේ වෙතත්, මෙම

එසේම, මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බැවින් වයස පමණක් පදනම් කරගෙන යම් පුද්ගලයෙකු පූර්ව ආර්තවහරණ සමය පසුවන්නේදැයි නිශ්චිතව තීරණය කළ නොහැක.

3. පූර්ව ආර්තවහරණ සමයේදී ඔසප් චක්‍රය වෙනස් වන්නේ කෙසේද?

ඔසප් චක්‍රය අපේක්ෂා කළ නොහැකි ලෙස වෙනස් විය හැක. ඔසප් වාර අතර කාල පරතරය අඩුවීම හෝ වැඩිවීම සිදුවිය හැකි අතර, රුධිර වහනය වැඩිවීම, අඩුවීම, හෝ දින ගණන අඩුවැඩි වීම සිදුවිය හැක.

මෙම වෙනස්කම් සාමාන්‍ය වුවද අධික ලෙස රුධිරය පිටවීම, දිගුකාලීනව රුධිරය පිටවීම හෝ ඔසප් වාර දෙකක් අතරමැදදී රුධිරය පිටවීම වැනි තත්ත්වයන් පවතී නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවී උපදෙස් ලබාගත යුතුය.

4. පූර්ව ආර්තවහරණ සමයේදී මතු විය හැකි වෙනත් ලක්ෂණ මොනවාද?

ශරීරයට හදිසි උණුසුම් බවක් දැනීම, රාත්‍රියට අධික ලෙස දහඩිය දැමීම, නින්ද නොයාම හෝ නින්දට බාධා වීම, අධික වෙහෙසකාරී බව, මානසික ස්වභාවයේ වෙනස්වීම්, අවධානය යොමු කිරීමේ අපහසුව, හිසරදය, යෝනි මාර්ගය වියළි වීම සහ ලිංගික ආශාවේ වෙනස්කම් වැනි ලක්ෂණ ඇති විය හැක.

මෙම තත්ත්වයේදී සෑම පුද්ගලයෙකුටම එකම ලක්ෂණ මතු නොවන අතර කාලයත් සමඟ ඒවායේ ස්වභාවය වෙනස් විය හැක.

5. පූර්ව ආර්තවහරණ සමයේදී ගැබ් ගැනීමට ඉඩ තිබේද?

ඔව්. ඔසප් වීම අක්‍රමවත් වුවද පූර්ව ආර්තවහරණ සමයේදී ඩිම්බ මෝචනය සිදුවිය හැක.

ගැබ් ගැනීමට අපේක්ෂා නො කරන්නේ නම් ආර්තවහරණය තහවුරු වන තෙක් උපත් පාලන ක්‍රම භාවිතා කිරීම අවශ්‍ය වේ. එබැවින්,මෙම අවධියේදී භාවිත කළ හැකි වඩාත් සුදුසු උපත් පාලන ක්‍රම පිළිබඳව වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබාගත හැකිය.

6. පූර්ව ආර්තවහරණය මගින් ලිංගික ආශාවට බලපෑම් ඇති කළ හැකිද?

ඔව්, එසේ සිදුවිය හැක. හෝමෝන වෙනස්කම් ලිංගික ආශාව කෙරෙහි බලපෑ හැකි නමුත් නින්ද, මානසික ආතතිය, මානසික ස්වභාවය, ඖෂධ, සබඳතා සහ ශාරීරික පහසුව යන කරුණු ද ලිංගික ආශාව කෙරෙහි බලපානු ලබයි.

එසේම, යෝනි මාර්ගයේ වියළි බව හෝ ලිංගික එක්වීමේදී ඇතිවන වේදනාව හේතුවෙන් ලිංගික සබඳතාවලින් බැහැර වීමට යම් පුද්ගලයෙකු පෙළඹිය හැකි අතර මෙම තත්ත්වය ලිංගික ආශාව තවදුරටත් අඩුවීමට හේතු විය හැක.

7. පූර්ව ආර්තවහරණ සමය කොපමණ කාලයක් පවතීද?

මේ සඳහා නියමිත කාල සීමාවක් නොමැත. පූර්ව ආර්තවහරණ සමය වසර කිහිපයක් පැවතිය හැකි අතර එම කාලය පුරාම රෝග ලක්ෂණ වෙනස් විය හැක.

එසේම, වෙනත් වෛද්‍යමය හේතුවක් නොමැතිව අඛණ්ඩව මාස 12 ක් පුරා ඔසප් වීම සිදු නොවූ පසු පමණක් ආර්තවහරණය සිදුවී ඇති බව තහවුරු කෙරේ.

8. වෛද්‍යවරයකු හමුවිය යුත්තේ කවදාද?

ඔබේ ඔසප් චක්‍රයේ වෙනස්කම් හෝ වෙනත් රෝග ලක්ෂණ පිළිබඳව ඔබ කනස්සල්ලෙන් සිටින්නේ නම් ඒවා පූර්ව ආර්තවහරණයට අදාළද නැතහොත් වෙනත් සෞඛ්‍ය තත්ත්වයකට අදාළද යන්න තීරණය කිරීමට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.

රහස්‍යභාවය සුරකින ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සහය ලබා ගැනීමට 077 955 2979 අංකය හරහා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ බ්ලූම් මධ්‍යස්ථානය සම්බන්ධ කර ගන්න.

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය (FPA Sri Lanka) පිළිබඳව

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මගින් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය මෙන්ම යහපැවැත්ම පිළිබඳ තොරතුරු සහ සේවාවන් සපයනු ලබයි. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ බ්ලූම් මධ්‍යස්ථානය (Bloom by FPA Sri Lanka) හරහා ආර්තවහරණය ආශ්‍රිත ගැටලු ඇතුළුව ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යයට අදාළ විවිධ ගැටලු සඳහා ඕනෑම පුද්ගලයෙක්ට විශ්වාසනීය මෙන්ම රහස්‍යභාවය සුරකින වෘතිතීය මට්ටමේ සහය ලබා ගත හැක.

ඔබගේ සහ ලබාදෙන තොරතුරුවල රහස්‍යභාවය සහයක් අවශ්‍යද? 077 955 2979 අංකය හරහා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ බ්ලූම් මධ්‍යස්ථානය සම්බන්ධ කර ගන්න

වෛද්‍ය උපදෙස්: මෙම ලිපිය ඔබගේ සෞඛ්‍ය පිලිබඳ සාමාන්‍ය දැනුවත්භාවය උදෙසා පමණක් ඉදිරිපත් කර ඇති අතර සුදුසුකම් ලත් සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකු හමුවී ලබා ගන්නා වෛද්‍ය උපදෙසකට මෙය ආදේශකයක් නොවන බව මතක තබාගත යුතුය. එමෙන්ම, ආර්තවහරණයේ රෝග ලක්ෂණ සහ විකල්ප ප්‍රතිකාර ක්‍රම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

 

Author

The Family Planning Association of Sri Lanka

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2026 | Family Planning Association All Rights Reserved
As Imagined By