මාතෘ සෞඛ්‍යය | The Family Planning Association of Sri Lanka

මාතෘ සෞඛ්‍යය

නව මව්වරුන්ට බලපාන පොදු සෞඛ්‍ය ගැටලු මොනවාද?


යෝනි මාර්ගයේ වේදනාව

සාපේක්ෂ වශයෙන් පහසු දරු උපතකින් පසුව පවා, යෝනි මාර්ගය ආශ්‍රිත ප්‍රදේශයේ වේදනාවක් තිබිය හැකි ය. දරුවා බිහි කිරීම සඳහා ප්‍රසූතය පහසු කරන උදෙසා කරන කැපුමක් අවශ්‍ය වූයේ නම් හෝ ඉරීමක් ඇති වූයේ නම්, අද්‍යෝභගය ලෙස හඳුන්වන යෝනි මාර්ගය සහ ගුද මාර්ගය අතර ප්‍රදේශය වේදනාකාරී වනු ඇත.

ඔබට වේදනාවක් දැනේ නම් එම ප්‍රදේශයේ අයිස් තබා බලන්න.

සීසර් සැත්කමක් සිදු කළ කාන්තාවන්ට කැපුම් ප්‍රදේශයේ වේදනාවක් ඇති විය හැකි ය. එවිට, ඔබට සති දෙකක් පමණ ගැනීම සඳහා ඖෂධ වට්ටෝරුවක් මගින් වේදනා නාශක ඖෂධ ලබා දෙනු ඇත.

පියයුරුවල වේදනාව

ඔබගේ පියයුරු දැඩි, ගැටිති සහගත හෝ වේදනාකාරී වන්නේ නම් ඒවා අධික ලෙස පිරී තිබෙනු විය හැකි ය. පියයුරු මේ තත්ත්වයට පත්වන්නේ අධික ලෙස පිරී ගිය විටයි. උණුසුම් සම්පීඩනයක් යෙදීම කිරි ගලා ඒමට උපකාර විය හැකි ය. තනපුඩුවල වේදනාවක් තිබේ නම්, නිතරම කිරි දීමට හෝ යම් කාලයක් තනපට නොමැතිව සිටීමට උත්සාහ කර බලන්න. වැඩි දුර සහය සඳහා වින්නඹු මාතාවකට, කිරි දීම පිළිබඳ විශේෂඥයෙකුට හෝ වෛද්‍යවරයෙකුට කතා කරන්න.

මූත්‍රා පිටවීම 

දරු උපතකින් පසු මූත්‍රා කාන්දු වීම ඉතා සුලබව දක්නට ලැබේ. සිනහ වන විට, කිවිසුම් යන විට, කහින විට හෝ  ව්‍යායාම කරන විට සමහරුන්ට මූත්‍රා පිටවිය හැකි ය.

පළමු සති කිහිපය තුළ ඇදී ගිය මාංශ පේශි සහ පටක යථා තත්ත්වයට පත් වන විට බොහෝ කාන්තාවන්ට එය පහව යයි. කෙසේ වෙතත්, සමහර කාන්තාවන්ට ඒ සඳහා බොහෝ කාලයක් ගත විය හැකි ය.

ඔබ මුත්‍රා පිටවීමක් අත්විඳින්නේ නම් කරුණාකර ඔබේ වෛද්‍යවරයා හමුවන්න. ඒ සම්බන්ධව කළින්ම කටයුතු කිරීමෙන් එය ජීවිත කාලය පුරාම ගැටලුවක් වීමේ අවදානම අවම කර ගත හැකි බව මතක තබා ගන්න.

ලිංගික එක්වීමේදී අපහසුතාව

බොහෝ කාන්තාවන්ට දරුවෙකු ලැබීමෙන් පසුව අභ්‍යන්තරික ලිංගික එක් වීමකදී වේදනාවක් ඇති වේ (දුර්මෛථුනය). යෝනි මාර්ගයෙන් හෝ සීසර් සැත්කමකින් හෝ වේවා දරුවෙකු බිහි කිරීමෙන් පසුව ඕනෑම නව මවකට, ලිංගික එක්වීමක දී වේදනාවක් ඇති වීම සිදු විය හැකි ය. දරුවෙකු බිහි කිරීමෙන් පසු ලිංගික එක වීමකදී ඇතිවන අපහසුතාවට ප්‍රධාන වශයෙන්, හෝර්මෝන වෙනස් වීම හේතුවෙන් ඇතිවන යෝනි මාර්ගයේ වියළි භාවය හේතුකාරක වෙයි. මෙය කළමනාකරණය කරගැනීමට ස්නේහක භාවිතා කළ හැකි ය.

තවත් හේතුවක් වන්නේ යෝනි මාර්ගයෙන් දරුවා බිහි කිරීමේදී යෝනි බිත්තියට ඇතිවන කම්පනයයි. බොහෝ ඉරීයාම් සහ ප්‍රසූතිය පහසු කිරීමට යොදන කැපුම් ඉතා හොඳින් සුව වෙන අතර අඛණ්ඩ වේදනාවක් ඇති නොකරයි.

ගර්භණී කාලය තුළ සහ දරුවා බිහි කිරීමේදී යූනික අස්ථියට සම්බන්ධ වූ ඇති මාංශ පේෂි සහ පටක සමහර විට වෙහෙසට පත්ව, තුවාල වී හෝ දුර්වල වී ඇති බැවින් ශ්‍රෝණි තලයේ ගැටළුවල ප්‍රතිඵලයක් ලෙස ද වේදනාවක් ඇති විය හැකි ය.

මලබද්ධය

ඔබට මලබද්ධය ඇති වූ විට මලපහ පිටවීමේ අපහසුතාවක් සහ අඩුවෙන් පිටවීමක් ඇති වේ. එය වලක්වා ගැනීමට දරු ප්‍රසූතියට පෙර හා දරු ප්‍රසූතියෙන් පසු සති කිහිපය තුළ සජලනය වීම සහ තන්තු බහුල ආහාර ගැනීම අත්‍යවශ්‍ය වේ.

දරු ප්‍රසූතියෙන් පසුව යථා තත්ත්වයට පත්වීමේදී අභියෝගයන්ට මුහුණ දීමට සිදුවන මුත්, මේ සියලුම සෞඛ්‍ය ගැටළු තාවකාලික ය. ඔබේ ශරීරයට සුවපත් වීමට කාලය දෙන්න.

දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් ඔබට ප්‍රශ්න හෝ ගැටළු ඇත්නම් කරුණාකර 077 955 2979 ඔස්සේ FPA Sri Lanka අමතන්න.


 

Source: https://dedicatedtowomenobgyn.com/posts/common-health-issues-for-new-mothers/


 

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By