ළමා උපදේශනය | The Family Planning Association of Sri Lanka

ළමා උපදේශනය

ළමා උපදේශනය යනු කුමක්ද ? 

ළමා උපදේශනය යනු, ළමුන්, නව යෞවනයන් (වයස 13-19 අතර පසුවන) සහ යෞවනයන් අරමුණු කරගනිමින් සිදු කරනු ලබන උපදේශන කාණ්ඩයක් වේ. එමගින් විවිධ කම්පන තත්ත්වයන්ට මුහුණ දී සිටින, අක්‍රීය හෝ පීඩාකාරී ගෘහස්ථ පරිසර තත්ත්වයන්ට මුහුණ පා සිටින අයට සහන සැලසීම සිදු කරයි. විශේෂයෙන් මෙම උපදේශන සැසි මඟින් සියලුම වයස් කාණ්ඩ වල දරුවන්ට එනම් පෙර පාසල් වයසේ සිට නව යෞවන සහ යෞවන වියේ පසුවන අයට ප්‍රතිලාභ සැලසේ. මෙම වයස් කාණ්ඩ වල පසුවන ළමුන්ද, වැඩිහිටියන් විසින් මුහුණ දෙනු ලබන ප්‍රශ්නවලට සමාන ආකාරයේ ප්‍රශ්න වලට ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙනු ලබයි. පොදුවේ ගත් කළ කාන්සිය, විශාදය, ශොකාකූලභාවය වැනි තත්ත්වයන් එයින් කීපයකි.    

ළමා උපදේශනයේ ඉලක්කය වන්නේ, එවැනි ආකාරයේ ප්‍රශ්න සහ ගැටළු කළමනාකරණය කළ  හැකි මට්ටමට ගෙන ඒමත්, එමගින් ළමුන්ට ඒ පිළිබඳව අවබෝධ කරවීම සහ එම ප්‍රශ්න සහ ගැටළු වලට මුහුණ දීමට හැකියාව ලබා දීමත් වේ. 

ළමයින් මානසික, සමාජයීය, චිත්තවේගී පීඩාවන් සහ කම්පනයන්ගෙන් පෙළෙන විට සහ විශේෂයෙන් කිසිඳු දෙයක් සාර්ථක නොවන බවට දෙමාපියන්ට හැගෙන විට හෝ දැනෙන විට මෙම “ළමා උපදේශනයන්ට” යොමු වීම මගින් ඉතා සාර්ථක ප්‍රථිපල ලබා ගත හැකි වේ. 

දෙමව්පියන්, ළමා රෝග විශේෂඥයින් සහ ගුරුවරුන් විසින් දරුවන් උපදේශනය සඳහා යොමු කිරීම අවශ්‍ය බව හැඟී යන විටකදී, ඔවුන් විසින් එම දරුවන් වෘත්තීමය ළමා උපදේශන සේවාවන් වෙත යොමු කිරීම සිදු කරනු ලබයි. මක්නිසාදයත් ළමා උපදේශකවරුන්ට ළමයින්ගේ පීඩාවන්ට හේතුවන මූලික හේතු නිරීක්‍ෂණය කිරීම, තක්සේරු කිරීම හා එම පීඩාවන්ට හේතුවන මූලයන් හඳුනාගෙන පිළියම් ලබා දිය හැකි බැවිනි. 

ළමා උපදේශකවරුන් යනු කවුරුන්ද ?      

ළමා උපදේශකවරුන් මානසික සෞඛ්‍ය සම්බන්ධ විශේෂඥවරුන්ය. ඔවුන් ඔබගේ දරුවාගේ සමාජයීය හා  චිත්තවේගී දියුණුව,  සංවර්ධනය සහ මානසික සෞඛ්‍ය වෙනුවෙන් මිල කළ නොහැකි සේවාවක් ලබා දෙයි. මෙහිදී විශේෂයෙන් අවබෝධ කරගත යුත්තේ, බොහෝ අවස්ථා වලදී ඉහත දැක්වූ ක්ෂේත්‍රයන්ට අදාළ මානසික රෝග/ව්‍යාධීන්  ළමයින්ට ඉතා සමීප අයට පවා අවබෝධ කර ගත නොහැකි වීමයි. නැතහොත් දර්ශනය නොවීමයි. එවැනි අවස්ථා වලදී මෙම ළමා උපදේශකවරුන්ගේ සේවාව ඉමහත් රුකුලක් වේ. 

මෙම තැනැත්තන්ට විශාල පරාසයක් පුරා විහිදී ඇති මානසික සෞඛ්‍ය තත්ත්වයන්, චිත්තපීඩා, විවිධ ගැලපුම් ගැටළු හඳුනාගැනීම, ඒවා තක්සේරු/අගය  කිරීම, නිශ්චය කිරීම හා ප්‍රතිකාර කිරීමට විශේෂඥ දැනුමක් පවතී. 

ළමා උපදේශකවරයෙකුගේ කාර්යයන්    

ළමා උපදේශකවරුන් ළමුන්ට සහ යෞවන වයසේ පසුවන අයට බොහෝ සේවා සපයයි. 

විශේෂන්ම එකී දරුවන්ට ඔහුගේ/ඇයගේ ගැටළු විසඳා ගැනීමට සහ සෞඛ්‍ය සම්පන්න සහ කාර්යක්ෂම ජීවිතයක් පවත්වාගෙන යාමට අවශ්‍ය උපදේශන ලබා දෙනු ලබයි.  

මෙහිදී තේරුම්ගතයුතු දෙයක් වන්නේ, සාමාන්‍යයෙන් මානසික සෞඛ්‍ය සම්බන්ධ ගැටළු වලින් පෙළෙන දරුවන් තම දෙමව්පියන් සමඟ එම කාරණා බෙදා නොගනී. එමනිසා ළමා උපදේශකවරුන්ගේ ඉලක්කය වන්නේ එකී ළමුන්ට, තමන් මුහුණ දෙන හෝ අත්විඳින ප්‍රශ්න සහ කම්පන තත්ත්වයන් වඩා හොඳින් අර්ථකථනය කර ගැනීමට නැතහොත් තේරුම් ගැනීමට උදව් කිරීමයි. 

මේ ආකාරයේ උපදේශනයන් මඟින් අවසාන වශයෙන් ඉලක්ක කරන්නේ, ළමුන්ට ඔවුන්ගේ හැඟීම් තුළින් ක්‍රියා කිරීමට උදව් කිරීමත්, එමඟින් ඔවුන්ට දිගුකල් පවතින බිය, ව්‍යාකූලත්වය, කාන්සිය/සාංකාව, කම්පන තත්ත්ව වලින් තොරව සාමාන්‍ය සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලබා දීම වේ. 

මෙම වෘත්තිකයන්ගේ ඉලක්කය වන්නේ ඔබගේ දරුවා මුහුණ දී සිටින ගැටළු හඳුනාගැනීමට උදව් කිරීම සහ ඒවාට සෞඛ්‍ය සම්පන්න ආකාරයට මුහුණ දීමට උදව් කිරීම අවශ්‍ය සේවාවන් සැලසීම වේ.  

ළමා උපදේශකවරුන්  උපදේශනය කරනු ලබන්නේ කවර ගැටළු සඳහාද ?        

ළමා උපදේශකවරුන් පහත අකාරයේ ගැටළු සඳහා සේවාවන් සලසා සිටී.  

  • මරණය / දික්කසාද වීම මත දෙමව්පියන් අහිමි වීම, තම සුරතලා අහිමි වීම, ආදරය කරන කෙනෙක් අහිමි වීම, ඥාතීන්, නිවාස අහිමි වීම යනාදී අසතුටුදායක සිද්ධි වලට මුහුණ පා සිටින දරුවන්ට සේවාවන් සලසා සිටී. 
  • අපයෝජනයට සහ/හෝ බිය ගැන්වීම් වලට භාජනය වූ සහ මත්ද්‍රව්‍ය භාවිතය හෝ ඇබ්බැහි වීම්, ආහාර ගැනීමේ රටාවේ අක්‍රමිකතා, උමතු සම්පීඩන අබාධය (OCD), විවිධ භීතිකාවන් සහ ලිංග අනන්‍යතාවය (ස්ත්‍රී -පුරුෂ භාවීය අනන්‍යතාවය) ලක් වූ දරුවන්ට සේවාවන් සලසා සිටී. 
  • කම්පන සහගත සිද්ධි වලට මුහුණ දුන් සහ මානසික පීඩාවන් සහ තත්ත්වයන්ට (ආතතිය, කාන්සිය සහ විශාදය වැනි) මුහුණ පා සිටින දරුවන්ට සේවාවන් සලසා සිටී.  
  • ආත්ම විශ්වාසය වැඩි කිරීම, ඉගෙනීමේ දුෂ්කරතා සහිත (ඉගෙනීමේ ඌණතා සහිත) දරුවන්ට අභිප්‍රේරණය සහ ඉලක්ක සැකසීම සඳහා  අභිප්‍රේරණය සහ ස්‌වයං සංවර්ධනය සේවාව සපයයි. 
  • ස්ථාන වෙනස් වීම් (පාසල් වෙනස් වීම, නිවාස, පවුල සහ/හෝ නගරයන්, රට ආදිය වෙනස් වීම හේතුවෙන්) වලට අදාළ ගැටළු සඳහා සේවාවන් සලසා සිටී. 
  • අධි ක්‍රියාකාරීත්වය සහ අඩු අවදානය සහිත (ADHD), ඔටිසම්, ඩවුන්ස් සහලක්ෂය (DOWN SYNDROME) යනාදී විශේෂ අවශ්‍යතා සහිත තත්ත්ව වල පසුවන දරුවන් සිටින දෙමව්පියන්ට ඔවුන් සමඟ කටයුතු කිරීමට අවශ්‍ය පුහුණුව ලබා දීම. 

ඔබ ළමා උපදේශකවරයෙක් වෙත යා යුතු වන්නේ කවර අවස්ථාවකදී ද ? 

ඔබ විසින් දරුවාගේ හැසිරීමේ ක්ෂණික වෙනසක් නිරීක්ෂණය කරනු ලබන්නේ නම් මේ සඳහා යොමු විය හැකිය. 

ඔබගේ දරුවාගේ හැසිරීමේ දැඩි වෙනසක් ඔබ නිරීක්ෂණය කරන්නේ නම්, විශේෂයෙන් මින් පෙර දරුවා එදිනෙදා තමන් මුහුණ දෙන සියලු සිද්ධි නිවසට පැමිණ දෙමව්පියන් සමඟ, පවුලේ අය සමඟ බෙදා හදා ගත්තද, එසේම දවසේ වැඩි කාලයක් පවුලේ සාමාජිකයින් සමඟ ගත කිරීමට කැමති වුවද, ක්ෂණිකව දරුවාගේ එම හැසිරීම් වෙනස් වී ඔහු/ඇය හුදකලාව සිටීමට කැමැත්තක් දැක්වීම, දැඩිව කේන්ති ගැනීම සහ බලාපොරොත්තු සුන් වූ ආකාරයට කටයුතු කිරීමට පෙළඹිය හැකිය. මෙය පැය ගණනකින් හෝ දිනකින් දෙකකින් නොව, කාලයක් තිස්සේ සිදු වූ දෙයක ප්‍රථිපලයක් විය හැකි අතර, මෙමගින් එම දරුවා මානසික චිත්තවේගී පීඩාවන්ට ගොදුරු වන බවට යම් ඇඟවීමක් දැකගත හැකි වේ. එවැනි අවස්තාවක් ළමා උපදේශකවරයෙක් වෙත යොමු විය යුතු අවස්තාවක් වනු ඇත. මක්නිසාදයත් මනෝ උපදේශකවරුන්ට කුඩා දරුවන්ට සහ යෞවනයින්ට ඔවුන්ගේ හැඟීම් නිදහසේ විස්තර කිරීමට අවශ්‍ය ආරක්‍ෂිත පරිසරය ගොඩනැගීමට හැකියාව ඇති බැවිනි. 

ළමා උපදේශකවරුන් එම දරුවන්ට අවශ්‍ය පිළිගැනීම ලබා දීම සහ ඔවුන් වඩා සුව පහසු තත්ත්වයට පත් කිරීම සිදු කරයි. 

බොහෝ ළමයින්ට තමන්ගේ හැඟීම්, චිත්තවේග මොනවාද යන්නවත් හඳුනා ගැනීමට හැකියාවක් නොමැත.එමනිසා එම හැඟීම් මොනවාද යන්න හඳුනාගැනීමට ඔවුන්ට උදව් අවශ්‍යයය. එසේම ඔවුන්ට එවැනි ආකාරයේ හැඟීම් දැනෙන්නේ ඇයිද ? යන්න සහ ඒවාට මුහුණ දීමට අවශ්‍ය උපාය මාර්ග සම්බන්ධයෙන් ළමා උපදේශවරුන් සිය වෘත්තීය සේවාව සපයයි. 

ළමුන්ගේ සාමාජයීය සහ චිත්තවේගීය හැඟීම් සහ මානසික පීඩාවන්ට අවශ්‍ය ප්‍රතිකර්ම නොමැතිව මඟහැර සිටීම මඟින් එය ළමුන්ට ඉතා සෘණාත්මක අයුරින් බලපෑ හැකිය. විශේෂයෙන් ළමුන්ගේ අධ්‍යාපන ඉලක්කයන්, සංවර්ධන ඉලක්කයන් ඒ අතර වැදගත් වේ. ඉතාම වැදගත් වන්නේ එමගින් එම දරුවන් පරිණතභාවයට පත් වීම ප්‍රමාදයට ලක් වීමයි. 

දෙමව්පියන් වශයෙන් ඔබට ඉතා වැදගත් වන්නේ ඔබගේ දරුවන්ගේ සෞඛ්‍ය සහ සතුටයි. එමනිසා ඔබ ඔබගේ දරුවාගේ හැසිරීමේ යම් අසාමාන්‍යතාවයක් දකින්නේ නම්, අධ්‍යාපනයේ පසු බෑමක් හෝ පාසල් යාමට මැලිකමක් දක්වයි නම්, ඔබ ඔබගේ දරුවා සම්බන්දයෙන් ළමා උපදේශකවරුන්ගේ සේවාව ලබා ගැනීමට යොමු වීම වැදගත් වේ. 

ළමා උපදේශවරයා එම දරුවාට සිය මානසික සෞඛ්‍ය සහ යහ පැවැත්ම ළඟා කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත්භාවයක් ලබා දෙයි.එමගින් ඔවුන්ට වඩා සක්‍රීය, කාර්යක්ෂම, ප්‍රථිපලදායක, අර්ථ සම්පන්න මානසික සෞඛ්‍ය සහිත ජීවිතයක් ළඟා කර ගැනීමට අවශ්‍ය උපකාරය ලබා දීම සිදු වේ.

Author

The Family Planning Association of Sri Lanka

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By