වර්තමාන ශාරීරික යෝග්‍යතා සංස්කෘතියේ පිබිදීමත් සමඟ, ශක්තිය, ශක්ති මට්ටම සහ ශරීරය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය (recovery) වැඩි දියුණු කර ගැනීම සඳහා පිරිමින් වැඩි වශයෙන් ආහාර අතිරේක සහ කාර්යසාධනය වැඩිකරන නිෂ්පාදන (performance-enhancing products) වෙත යොමු වෙමින් සිටියි. පොදුවේ භාවිත වන බොහෝ අතිරේක ආහාර නිසි ලෙස ගන්නා විට ආරක්ෂිත වුවද, ඇනබොලික් ස්ටෙරොයිඩ් (anabolic steroids) අනිසි ලෙස භාවිත කිරීම සහ බාල ප්‍රමිතියෙන් යුත් හෝ නියාමනය නොකළ නිෂ්පාදන භාවිතය, තරඟකාරී මට්ටමේ කායවර්ධනකරුවන් අතර පමණක් නොව සාමාන්‍ය එදිනෙදා ව්‍යායාම කරන්නන් අතර ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.
ඇනබොලික් ස්ටෙරොයිඩ් සහ ප්‍රජනනයේ සරුභාවය සඳහා (fertility) ඇති වන බලපෑම.
ඇනබොලික් ස්ටෙරොයිඩ් යනු ශුක්‍රාණු නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය වන, වෘෂණ මගින් නිපදවන ටෙස්ටොස්ටෙරෝන් (testosterone) හෝර්මෝනයේ මිනිසා විසින් කෘතිමව නිෂ්පාදනය කරන අනුවාදයක් වේ. මේවා අධික මාත්‍රාවලින් හෝ දිගු කාලයක් ලබා ගත් විට, ශරීරයේ ස්වභාවික හෝර්මෝන සමතුලිතතාවයට බාධා පමුණුවයි. මෙය වෘෂණ මගින් ස්වභාවිකව ටෙස්ටොස්ටෙරෝන් නිපදවීම අඩාල කරන අතර ශුක්‍රාණු වර්ධනයට ද බාධා පමුණුවයි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස පහත සඳහන් තත්ත්වයන් ඇති විය හැක:
ශුක්‍රාණු ප්‍රමාණය අඩු වීම
ශුක්‍රාණු සම්පූර්ණයෙන්ම නොමැති වීම
වෘෂණ කුඩා වීම
ස්වභාවික ටෙස්ටොස්ටෙරෝන් සහ ශුක්‍රාණු නිෂ්පාදනය අඩුවීමත් සමඟ ප්‍රජනනය සඳහා වන සඵලතාවය ද අඩු වේ. ඇනබොලික් ස්ටෙරොයිඩ් භාවිතා කර ඇති, දරුවෙක් අපේක්ෂා කරන පිරිමි වෛද්‍ය පරීක්ෂණ සහ උපදෙස් සඳහා වෛද්‍යවරයෙකු හමුවීම අතිශය වැදගත් වේ.
ඇනබොලික් ස්ටෙරොයිඩ් සහ ඉන් ලිංගික ක්‍රියාකාරිත්වයට ඇති වන බලපෑම.
ලිංගික ක්‍රියාකාරිත්වය කෙරෙහි ඇනබොලික් ස්ටෙරොයිඩ් මගින් ඇති කරන බලපෑම් කාලයත් සමඟ වෙනස් විය හැක. කෙටි කාලීන භාවිතයේදී ටෙස්ටොස්ටෙරෝන් මට්ටම කෘතිමව ඉහළ යන බැවින් ලිංගික ආශාව තාවකාලිකව වැඩි විය හැක. කෙසේ වෙතත්, දිගුකාලීන භාවිතය මගින් ශරීරයේ ස්වභාවික ටෙස්ටොස්ටෙරෝන් නිෂ්පාදනය අඩාල කරන අතර එය පහත සඳහන් ගැටලුවලට හේතු විය හැක:
ලිංගික ආශාව අඩු වීම
ලිංගික අප්‍රාණිකත්වය
සිතේ ස්වභාවය නිතර වෙනස් වීම සහ කෝපය
දිගුකාලීන හෝර්මෝන අසමතුලිතතාවය
ස්ටෙරොයිඩ් භාවිතය නැවැත්වීමෙන් පසු බොහෝ පිරිමින් හට මෙම බලපෑම් යථා තත්ත්වයට පත් විය හැකි නමුත්, ඒ සඳහා මාස කිහිපයක සිට වසරකට වැඩි කාලයක් ගත විය හැක. භාවිත කළ කාලය සහ මාත්‍රාව අනුව ඇතැම් විට එය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් නොවිය හැකි අවස්ථා ද ඇත.
පොදු ව්‍යායාම අතිරේක ආහාර පිළිබඳ අවබෝධය.
ප්‍රෝටීන් පවුඩර්, ක්‍රියටීන් (creatine) සහ ප්‍රී වර්ක් අවුට් (pre-workouts) වැනි අතිරේක ආහාර බහුලව භාවිත වන අතර වගකීමෙන් යුතුව ලබා ගන්නා විට ඒවා සාමාන්‍යයෙන් ආරක්ෂිත යැයි සැලකේ. ගැටලුව පැනනගින්නේ මෙම ආහාර අතිරේක කර්මාන්තය නිසි ලෙස නියාමනය නොවීම සහ විවිධ සන්නාම (brands) අතර ගුණාත්මකභාවය වෙනස් වීම හේතුවෙනි. ප්‍රසිද්ධ සමාගම් නිසි ආරක්ෂාව සහ ගුණාත්මක පරීක්ෂණ සිදු කළද, ඇතැම් ප්‍රමිතියෙන් තොර නිෂ්පාදනවල පහත දෑ අඩංගු විය හැක:
හෙළි නොකළ හෝර්මෝන වර්ග
ස්ටෙරොයිඩ් වැනි ද්‍රව්‍ය
ප්‍රජනක සෞඛ්‍යයට බලපෑම් කළ හැකි අහිතකර ද්‍රව්‍ය
එබැවින්, අවදානම පවතින්නේ ප්‍රචලිත ආහාර අතිරේකවල නොව, නිසි ලෙස නියාමනය නොකළ හෝ ව්‍යාජ ලෙස සකස් කළ නිෂ්පාදනවල බව වටහා ගැනීම වැදගත් වේ.
ප්‍රජනනයේ සරුභාවය සහ ලිංගික සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම
ඇනබොලික් ස්ටෙරොයිඩ් දිගුකාලීනව භාවිතයෙන් වළකින්න. මන්දයත් ඉන් ප්‍රජනනයේ සරුභාවය සහ දිගුකාලීන සෞඛ්‍යයට ඇති අවදානම, කෙටි කාලීන පේශි වර්ධනයට වඩා වැඩි බැවිනි.
ආරක්ෂාව සහ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් තෙවන පාර්ශවයක් හරහා පරීක්ෂාවන්ට (third-party testing) ලක් වූ විශ්වසනීය සන්නාමයන්ගෙන් අතිරේක ආහාර තෝරා ගන්න.
ශාරීරික යෝග්‍යතාවය මෙන්ම ප්‍රජනක සෞඛ්‍යය ද පවත්වා ගැනීමට සමබර ආහාර වේලක් සහ නිතිපතා ව්‍යායාම රටාවක් අනුගමනය කරන්න.
ඔබ ආහාර අතිරේක ලබා ගැනීමට සිතන්නේ නම්, මීට පෙර ස්ටෙරොයිඩ් භාවිතා කර ඇත්නම් හෝ ඔබේ ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ ගැටලුවක් ඇත්නම් හෝ සුදුසු වෛද්‍යවරයෙකු හමුවන්න.
අවසාන සටහන:
ස්ටෙරොයිඩ් මගින් වේගවත් පේශි වර්ධනයක් සිදුවන බවට පෙන්වා දුන්නද, එමගින් ප්‍රජනනයේ සරුභාවයට, ලිංගික ක්‍රියාකාරිත්වයට සහ හෝර්මෝන සෞඛ්‍යයට ස්ථිර හානියක් සිදුවිය හැකිය. එමෙන්ම, සාමාන්‍ය ආහාර අතිරේක පවා අනිසි ලෙස භාවිත කළහොත් හෝ සෞඛ්‍යයට අහිතකර ද්‍රවය අඩංගු වුවහොත් අවදානම් සහගත විය හැක. වඩාත්ම ආරක්ෂිත ක්‍රමය වන්නේ වෛද්‍ය උපදෙස් ද ඇතිව, ප්‍රධාන වශයෙන් ස්වභාවික පෝෂණය සහ ක්‍රමවත් පුහුණුව මත විශ්වාසය තැබීමයි. ඔබේ දිගුකාලීන සෞඛ්‍යය සහ අනාගත පවුල් සැලසුම් වැදගත් බව මතක තබා ගන්න.
ව්‍යායාම ආහාර අතිරේක හෝ ඇනබොලික් ස්ටෙරොයිඩ් භාවිතය පිළිබඳව ඔබ හෝ ඔබ දන්නා අයෙකු සැලකිලිමත් වන්නේ නම්, කරුණාකර ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ බ්ලූම් වෛද්‍ය සායනයේ (Bloom Medical Clinic) සෞඛ්‍ය වෘත්තිකයෙකු හමුවන්න.
(දුරකථන: +94 779895252, ලිපිනය: අංක 37/27, බුලර්ස් ලේන්, කොළඹ 07)