“මගේ නම සහන්. මීට වසර දෙකකට ඉහතදී සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළ ප්‍රතිඵල ලබාගෙන හා හා පුරා අලුත් පාසලකට ගියේ දහසක් බලාපොරොත්තු අතැතිව . 

 

මම කැමතිම විෂය නර්තනය. කෙටි කාලයක් ඇතුලත පාසලේ ගුරුවරු අතරත් මම කැපී පෙනෙන චරිතයක් වෙද්දී පාසලේ ඇතැම් සිසුන් මාගේ දක්ෂතාවය හමුවේ මෙන්ම ජනප්‍රියත්වයට එතරම් කැමැත්තක් දැක්වුවේ නැහැ. ඔවුනගේ හිරිහැර කොතරම් ඉවසා ගෙන සිටියත් මා ඔවුන් මාගේ හිත මිතුරන් මෙන් සැලකීමට අමතක කලේ නැහැ. ඒ කෙසේ නමුත් ඔවුනට අවශ්‍ය වුණේ හුදෙක්  මා නර්තනය විෂය අතහැර දැමීම ය. 

 

නොහිතපු විදිහට සියලුම දේ උඩු යටිකුරු වෙන්න මහා කාලයක් ගත වුනේ නැති තරම්. දෙමව්පියන්ට විනා ගුරුවරුන්ට මගේ ගැටලුව පැවසීමට ඇති නොහැකියාව අවසානයේ ඔවුනගේ සිතැඟි පරිදි මා උසස් පෙළ විෂයයන් වෙනස් කරන්නට සිදුවුණා . "

 

ඉහතින් සදහන්ව ඇත්තේ එක් නිර්නාමික සිදුවීමක් පමණක් වුවත් මේහි සාරාංශය නම් පාසල යන උත්තරීතර භුමීකාව තුල ස්ත්‍රී පුරුෂ සමාජභාවය මුල් කරගත් ප්‍රචණ්ඩත්වයේ හුදු පැතිකඩක් පමණි. ප්‍රචණ්ඩත්වය යනු වාචික, කායික නැතිනම් මානසිකව සිදු කරන්නා වු සාහසික ක්‍රියාවක් වන අතර එය සිදු වන ස්ථානය අනුව එය හදුන්වන ආකාරය වෙනස් වේ. 

 

පාසල යනු හුදෙක් අධ්‍යාපනය ලබා දෙන ගොඩනැගිල්ලක් පමණක් නොව හෙට දවසේ නැණවත්, ගුණවත් නායකයන් බිහි කරන්නා වු මානුෂීය හැගීම් වලින් සුපෝෂිත තක්සලාවකි. එනමුදු සරස්වතී දෙව් පහස ලබනා භුමිය තුලද සදහන් කල නොහැකි  අකටයුතුකම් ද සිදු නොවනවා නොවේ. එය පොදුවේ හදුන්වන්නේ " පාසල් ආශ්‍රිත කරගත් ප්‍රචණ්ඩත්වය " නොහොත් ( School- Related- Gender-Based- Violence) *SRGBV* ලෙසයි.

 

මෙය සිදුවන ආකාර කිහිපයකි. මූලිකවම පාසල් භූමිය ඇතුළත සහ පිටත මුල් කරගෙන සිදු වන්නා වු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්. වාචික  හිංසනය මීට ආදාල වන අතර එය විටෙක ගුරුවරයෙක් විසින් ලබා දෙන නුසුදුසු දඩුවමක් හෝ බැණ වැදීමක් ද විය හැක.. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මුල් කොටගත් කායික හිංසනය ලිංගික සහ සමලිංගික යන ආකාරයෙන්ද සිදුවිය හැක. 

 

ගෝලීය සමීක්ෂණ වාර්තා වලට අනුව පිළිවෙලින් වයස අවුරුදු 13ත් 15ත් අතර වයසේ ළමුන් බහුලව පාසල් හිංසනයට ලක් වන අතර, සෑම ගැහැණු දරුවන් දහ දෙනෙකුගෙන් එක් අයෙකු පාසල තුල ලිංගික හිංසනයට හෝ අපයෝජනයට ලක් වන බවද පේරූ, චිලි, මෙක්සිකෝ සහ තායිලන්තය වැනි රටවල *LGBT* දරුවන් ගෙන් 55% කට වඩා පාසල තුල ප්‍රචණ්ඩත්වය ට ලක් වන බව වැඩිදුරටත් අවධාරණය කරයි. 

 

 ඉහත  සටහනට අනුව මෙවැනි ක්‍රියාකාරකම් සිදු වීමට බලපෑ හැකි සාධක කිහිපයකි. 01 ස්වකීය සමාජභාවය හා සම්බන්ධ සාම්ප්‍රදායික චින්තන වල එල්බ සිටිම හේතුකොට ගෙන අසාධාරණ ලෙස කටයුතු කිරිම. 02 ප්‍රචණ්ඩත්වය තම බලය විදහා දැක්වීමේ මාධ්‍යයක් ලෙස පාසල තුල අවිධිමත් අයුරින් භාවිතා කිරිම. 03 ස්ත්‍රි පුරුෂ සමාජභාවි අසමානතාවය සහ වරක් ප්‍රචණ්ඩත්වයට ලක් වු දරුවා පසුව ඊට එරෙහිව කටයුතු නොකිරීම වේ. 

 

පාසල තුල හිංසනයට ලක්වන දරුවා කායිකව තුවාල වීම්, පහර දීම් සහ ලිංගික සංසර්ගය හේතුවෙන් ඇතිවන අනපේක්ෂිත ගැබ් ගැනිම් ද, මානසික වශයෙන් විශාදය, කාංසාව සහ කෙටි කාලීන මතකය නැතිවීම ද සමාජීය වශයෙන් අනෙකාට මුහුණ දීමට ඇති නොහැකියාව, ලැජ්ජාව, තමා පිළිබඳ හටගත් කෝපය සහ අධ්‍යාපනික වශයෙන් පාසලේ විෂයන් ට දක්වන අවධානය අඩු වීම, පාඩම් කිරීමට නොහැකි වීම, දෛනික පැමිණිම සහ විභාග ප්‍රතිඵල ක්‍රමානුකූලව පහත බැසීම ආදී විවිධ  සෘණාත්මක බලපෑම් වලට ලක් වී අවසානයේ එය සිය දිවි නසා ගැනීම දක්වා හේතු වේ.

 

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මුල්කොට ගත් පාසල් ප්‍රචණ්ඩත්වය මුලිනුපුටා දැමීම තනි මිනිසෙකුට කල නොහැක. නමුත් සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයකම සක්‍රීය දායකත්වය තුලින් දරුවාට පාසල් වටපිටාව වඩා ආරක්‍ෂාකාරී සහ සිත්ගන්නා සුළු පරිසරයක් බවට නිර්මාණය කිරීමෙන් මෙය වළක්වා ගත හැක. ඒ සදහා පාසල් මට්ටමේ සිට දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කල යුතුය. රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල වල සහයෝගය තුලින්

අධ්‍යාපන ක්ෂේත්‍රය හි බිම් මට්ටමේ සිට සියලු දෙනාට උපදේශන සේවා ලබා දීම් සහ වඩා හිතවත් පාසල් පරිසරයක් නිර්මාණය කිරීම උදෙසා ඔවුන් පුහුණු කල යුතුය. එමගින් සියලු දෙනාම දරුවා වෙනුවෙන් පෙනී සිටින අතර දරුවාගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය කුමක් වුවත් සමානත්වයකින් යුතුව සැලකීමට පෙළඹෙයි.

 

එපමණක් නොව පාසල් ආශ්‍රිතව සිදුවන හිංසනයන් ට විරුද්ධ විය හැකි ශක්‌තිමත් නීතිමය ක්‍රියාමාර්ග පැනවිය යුතු අතර ඒවා නිසි ලෙස ක්‍රියාත්මක ද කල යුතුය.

 

" අපි වෙමු එක මවකගේ දරුවෝ 

එක නිවසෙහි වෙසෙන

එක පාටැති එක රුධිරය වේ 

අප කය තුල දුවනා

එබැවින් අප වෙමු සොයුරු සොයුරියෝ 

එක ලෙස එහි වැඩෙනා "

 

FPA Sri Lanka වෙනුවෙන්

කසුනි කටුගම්පල