ආර්තවහරණයේ රෝග ලක්ෂණ: අපේක්ෂා කළ හැකි වෙනස්කම් සහ වෛද්‍ය සහය ලබා ගත යුතු ආකාරය | The Family Planning Association of Sri Lanka

ආර්තවහරණයේ රෝග ලක්ෂණ: අපේක්ෂා කළ හැකි වෙනස්කම් සහ වෛද්‍ය සහය ලබා ගත යුතු ආකාරය

ආර්තවහරණය මගින් මාසික ඔසප් චක්‍රය කෙරෙහි පමණක් නොව වෙනත් සෞඛ්‍යමය තත්ත්වයන් හා පුරුදු කෙරෙහිද වැඩි බලපෑමක් ඇති කළ හැකිය. එමගින්, හෝමෝනවල සිදුවන වෙනස්කම් නිසා නින්ද, මානසික තත්ත්වය, අවධානය යොමු කිරීමේ හැකියාව, ලිංගික සෞඛ්‍යය සහ ශාරීරික සුවතාවය කෙරෙහි බලපෑම් ඇති විය හැක. මෙම රෝග ලක්ෂණ එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට බෙහෙවින් වෙනස් වන අතර සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව දැනුවත් වීම මගින් ඔබට වෘත්තීයමය සහයක් අවශ්‍ය වන්නේ කුමන අවස්ථාවකදී ද යන්න හඳුනා ගැනීමට උපකාරී වේ.

1. ආර්තවහරණයේදී බහුලව දක්නට ලැබෙන රෝග ලක්ෂණ මොනවාද?

හදිසියේම ශරීරයට දැනෙන උෂ්ණත්වය, රාත්‍රියට අධික ලෙස දහඩිය දැමීම, අක්‍රමවත් ලෙස ඔසප් වීම, නින්ද නොයාම හෝ නින්ද පිළිබඳ ගැටලු, මානසික තත්ත්වයේ වෙනස්වීම්, අධික වෙහෙස, අවධානය යොමු කිරීමේ අපහසුතාවය, යෝනි මාර්ගයේ වියළි බව සහ ලිංගික එක්වීමක් සඳහා පවතින කැමැත්තේ/ආශාවේ වෙනස්කම් බහුලව දක්නට ලැබෙන රෝග ලක්ෂණ වේ.

මීට අමතරව ඇතැම් පුද්ගලයන්ට හිසරදය, සන්ධි සහ පේශිවල වේදනාව, සම සහ කොණ්ඩයේ වෙනස්කම් හෝ මුත්‍රා පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ මතු විය හැක. සෑම කෙනෙකුටම මේ සියලුම රෝග ලක්ෂණ මතු නොවන අතර ඒවායේ දැඩිබව ද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

2. හදිසියේම ශරීරයට උෂ්ණත්වයක් දැනෙන්නේ ඇයි?

හෝමෝන වෙනස්කම් මගින් ශරීර උෂ්ණත්වය පාලනය කරන මොළයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කිරීම නිසා මෙම තත්ත්වය හටගන්නා බව පවතින විශ්වාසයයි.

මෙහිදී විශේෂයෙන්ම මුහුණ, බෙල්ල සහ පපුව ප්‍රදේශයේ එකවරම අධික රස්නයක් දැනෙන අතර ඉන්පසු දහඩිය දැමීම සහ සීතලක් දැනීම සිදුවිය හැක. ඇතැම් පුද්ගලයන්ට මෙම තත්ත්වය කලාතුරකින් ඇතිවන අතර තවත් පිරිසකට නින්දට සහ දෛනික කටයුතුවලට දැඩි ලෙස බාධා පමුණුවයි.

3. ආර්තවහරණය නින්දට බලපෑම් ඇති කරයිද?

ඔව්. රාත්‍රියට අධික ලෙස දහඩිය දැමීම නිසා නිතර නින්දෙන් අවදි විය හැකි අතර හෝමෝන වෙනස්කම්, මානසික පීඩනය, කාංසාව සහ මානසික තත්ත්වයේ වෙනස්වීම් නිසා නින්දයාම හෝ සුව නින්දක් ලබාගැනීම අපහසු විය හැක.

ප්‍රමාණවත් නින්දක් නොලැබීම නිසා දහවල් කාලයේදී අධික වෙහෙස, කෝපය/කලබලකාරී බව සහ අවධානය යොමු කිරීමේ අපහසුතාවයන් ඇතිවන අතර එමගින් රෝග ලක්ෂණ එකිනෙකට බලපාන සංකීර්ණ තත්ත්වයක් නිර්මාණය වේ.

4. ආර්තවහරණය නිසා මානසික වෙහෙස සහ මන්දගාමී බව ඇති විය හැකිද?

ආර්තවහරණය ආසන්න සමයේදී සහ ආර්තවහරණයෙන් පසු අවධානය යොමු කිරීමේ අපහසුතාවය, කරුණු මතක තබා ගැනීමේ අපහසුතාවය හෝ මනසේ පැහැදිලි බවක් නොමැති වීම වැනි තත්ත්වයන් ඇතිවන බවට බොහෝ පුද්ගලයන් පවසයි. ඊට අමතරව, නින්දට බාධා ඇතිවීම, මානසික පීඩනය, කාංසාව සහ වෙනත් කරුණු ද මෙයට හේතු විය හැකිය. මතකය හෝ අවධානය යොමු කිරීමේ හැකියාවේ සිදුවන වෙනස්කම් තදබල ලෙස බලපාන්නේ නම්, උත්සන්න වන්නේ නම් හෝ දෛනික ජීවිතයට බාධා කරන්නේ නම් එය ආර්තවහරණය නිසාම සිදුවූවක් යැයි නිගමනය නොකර සෞඛ්‍ය සේවා සපයන්නෙකු හමුවී උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.

5. ආර්තවහරණය මානසික තත්ත්වයට බලපායිද?

ඔව්. ආර්තවහරණය සිදුවන කාලසීමාවේදී ඇතැම් පුද්ගලයන්ට කෝපය/කලබලකාරී බව, කාංසාව, මානසික පසුබෑම හෝ වෙනත් හැඟීම්බර වෙනස්කම් අත්විඳීමට සිදුවේ.

හෝමෝන වෙනස්කම් මෙයට හේතු විය හැකි අතර ජීවන තත්ත්වයන්, මානසික පීඩනය සහ ප්‍රමාණවත් නින්දක් නොලැබීම ද බලපානු ලබයි. දිගින් දිගටම පවතින මානසික පසුබෑම, දැඩි කාංසාව හෝ දෛනික ජීවිතයට බාධා කරන රෝග ලක්ෂණ පවතින්නේ නම් සෞඛ්‍ය සේවා සපයන්නෙකු සමඟ සාකච්ඡා කළ යුතුය.

6. ආර්තවහරණය මගින් ශරීරයේ බර සහ ස්වරූපයට බලපෑමක් ඇති වේද?

වයස අවුරුදු 40-50 අතර කාලසීමාවේදී ශරීර ස්වරූපයේ වෙනස්කම් සිදුවීම සාමාන්‍ය දෙයකි. මේ හරහා හෝමෝන වෙනස්කම්, වයස්ගත වීම, පේශි ප්‍රමාණය අඩුවීම, ශාරීරික ක්‍රියාකාරකම්, නින්ද සහ ආහාර රටාවන් මගින් ශරීරයේ බර සහ තෙල්/ පටක තැන්පත් වන ස්ථාන කෙරෙහි බලපෑම් ඇති කළ හැක.

ශරීරයේ බරෙහි සිදුවන සෑම වෙනස්කමකටම එකම හේතුව ආර්තවහරණය ලෙස නොසැලකිය යුතු අතර මේ සඳහා ඔබට අදාළ වන බලපෑම් හඳුනා ගැනීමට සෞඛ්‍ය සේවා සපයන්නෙකුට උපකාර කළ හැක.

7. ආර්තවහරණයේ රෝග ලක්ෂණ කාලය සමග නැති වී යයිද?

හදිසියේම ශරීරයට දැනෙන උෂ්ණත්වය වැනි ඇතැම් රෝග ලක්ෂණ කාලයත් සමඟ අඩුවිය හැකි නමුත් ඒ සඳහා ගතවන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට බෙහෙවින් වෙනස් වේ.

ඊස්ට්‍රජන් හෝමෝනය අඩුවීම නිසා යෝනි මාර්ගය සහ මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග ලක්ෂණ ආර්තවහරණයෙන් පසුවද දිගටම පැවතිය හැකි අතර ඒවා වඩාත් මතු වී පෙනීමට ද ඉඩ ඇත. මෙම රෝග ලක්ෂණ ඔබගේ පහසුවට, සෞඛ්‍යයට හෝ ලිංගික සුවතාවයට දිගින් දිගටම බලපාන්නේ නම් ඒ සඳහා ප්‍රතිකාර ක්‍රම පවතී.

8. ආර්තවහරණයේ රෝග ලක්ෂණ පාලනය කරගන්නේ කෙසේද?

රෝග ලක්ෂණ පාලනය කිරීම, පවතින රෝග ලක්ෂණ සහ ඒවායේ දැඩිබව සහ ඔබගේ පෞද්ගලික සෞඛ්‍ය තත්ත්වය මත රඳා පවතී. ඒ සඳහා ජීවන රටාවේ වෙනස්කම්, හෝමෝනමය නොවන ප්‍රතිකාර, දේශීය ප්‍රතිකර්ම හෝ සුදුසු පුද්ගලයන් සඳහා හෝමෝන ප්‍රතිකාර භාවිත කළ හැක.

මෙම තත්ත්වය පාලනය සඳහා සෑම පුද්ගලයෙකුටම එක ලෙස සුදුසු වන ප්‍රතිකාරයක් නොමැති අතර පවතින විකල්ප සහ ඒවායේ ඇති විය හැකි ප්‍රතිලාභ මෙන්ම අවදානම් වටහා ගැනීමට සෞඛ්‍ය සේවා සපයන්නෙකුට ඔබට උපකාර කළ හැක.

රහස්‍යභාවය සුරකින ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සහය ලබා ගැනීමට 077 955 2979 අංකය හරහා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ බ්ලූම් මධ්‍යස්ථානය සම්බන්ධ කර ගන්න.

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය (FPA Sri Lanka) පිළිබඳව

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මගින් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය මෙන්ම යහපැවැත්ම පිළිබඳ තොරතුරු සහ සේවාවන් සපයනු ලබයි. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ බ්ලූම් මධ්‍යස්ථානය (Bloom by FPA Sri Lanka) හරහා ආර්තවහරණය ආශ්‍රිත ගැටලු ඇතුළුව ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යයට අදාළ විවිධ ගැටලු සඳහා ඕනෑම පුද්ගලයෙක්ට විශ්වාසනීය මෙන්ම රහස්‍යභාවය සුරකින වෘතිතීය මට්ටමේ සහය ලබා ගත හැක.

ඔබගේ සහ ලබාදෙන තොරතුරුවල රහස්‍යභාවය සහයක් අවශ්‍යද? 077 955 2979 අංකය හරහා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ බ්ලූම් මධ්‍යස්ථානය සම්බන්ධ කර ගන්න

වෛද්‍ය උපදෙස්: මෙම ලිපිය ඔබගේ සෞඛ්‍ය පිලිබඳ සාමාන්‍ය දැනුවත්භාවය උදෙසා පමණක් ඉදිරිපත් කර ඇති අතර සුදුසුකම් ලත් සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකු හමුවී ලබා ගන්නා වෛද්‍ය උපදෙසකට මෙය ආදේශකයක් නොවන බව මතක තබාගත යුතුය. එමෙන්ම, ආර්තවහරණයේ රෝග ලක්ෂණ සහ විකල්ප ප්‍රතිකාර ක්‍රම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

 

Author

The Family Planning Association of Sri Lanka

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2026 | Family Planning Association All Rights Reserved
As Imagined By