ආර්තවහරණය හේතුවෙන් ඇතිවන දැඩි අපහසුතා සහ රෝග ලක්ෂණ අත්විඳින පුද්ගලයන් සඳහා හෝමෝන ආදේශක ප්රතිකාරය යනු ඉතා සාර්ථක විසඳුමකි. කෙසේ වෙතත්, මෙය සෑම පුද්ගලයෙක්ටම එක ලෙස සුදුසු වන්නේ නැත. විවිධ හෝමෝන ආදේශක ප්රතිකාර වර්ග සහ ඒවායෙන් ඇති විය හැකි ප්රතිලාභ සහ අවදානම් පිළිබඳව වටහා ගැනීම සෞඛ්ය සේවා සපයන්නෙකු සමඟ පැහැදිලි සාකච්ඡාවක් කිරීමට ඔබට උපකාරී වේ.
1. HRT, එනම් හෝමෝන ආදේශක ප්රතිකාරය යනු කුමක්ද?
ආර්තවහරණයත් සමඟ ශරීරය තුළ හෝමෝන නිපදවීම අඩුවන අතර විශේෂයෙන්ම ඊස්ට්රජන් සහ අවශ්ය අවස්ථාවලදී ප්රොජෙස්ටොජන් නැවත ශරීරයට ලබා දීම හෝමෝන ආදේශක ප්රතිකාරයෙන් සිදු කෙරේ. මෙවැනි අවස්ථාවලදී පෙති, පැච් ජෙල් වර්ග සහ වෙනත් ඖෂධීය ක්රම මගින් ආදේශක ප්රතිකාර ලබා දිය හැක.
2. හෝමෝන ආදේශක ප්රතිකාර මගින් ප්රතිඵල ලබා ගත හැකි රෝග ලක්ෂණ මොනවාද?
සමස්ත ශරීරය සඳහා බලපාන පරිදි ලබා දෙන මෙම හෝමෝන ආදේශක ප්රතිකාර ක්රමවේදය විශේෂයෙන්ම ක්ෂණිකව අධික රස්නයක් දැනීම සහ රාත්රියට අධික ලෙස දහඩිය දැමීම වැනි ලක්ෂණ සඳහා ඉතා ප්රතිඵලදායක වේ. එසේම ආර්තවහරණයට අදාළ වෙනත් රෝග ලක්ෂණ සඳහාද එය උපකාරී විය හැකිය.
ඔබගේ ප්රධානතම ගැටලුව යෝනි මාර්ගයේ වියළි බව හෝ අපහසුතාව වැනි ලක්ෂණ පමණක් නම් ඒ සඳහා මුළු සිරුරටම බලපාන හෝමෝන ආදේශක ප්රතිකාර ක්රම වෙනුවට යෝනි මාර්ගයට පමණක් යොදන දේශීය ප්රතිකාර ක්රම වඩාත් සුදුසු විය හැකිය.
3. ආර්තවහරණය සිදුවූ සෑම පුද්ගලයෙකුටම හෝමෝන ආදේශක ප්රතිකාරය අවශ්යද?
නැත. ඇතැම් පුද්ගලයන්ට ඉතා සුළු රෝග ලක්ෂණ පවතින බැවින් ප්රතිකාර අවශ්ය නොවන අතර තවත් පිරිසකට තම ජීවන රටාවන්ට දැඩි ලෙස බලපාන රෝග ලක්ෂණ මතු වේ.
හෝමෝන ආදේශක ප්රතිකාරය යනු පවතින ප්රතිකාර ක්රම කිහිපයෙන් එකක් පමණක් වන අතර එම තීරණය ගත යුත්තේ ඒ ඒ පුද්ගලයාගේ පුද්ගලික සෞඛ්ය තත්ත්වය පදනම් කරගෙන ය.
4. හෝමෝන ආදේශක ප්රතිකාරය සුරක්ෂිතද?
ඒ සඳහා සරල "ඔව්" හෝ "නැත" වශයෙන් පිළිතුරක් ලබාදිය නොහැක.
ඒ මගින් ඇති විය හැකි ප්රතිලාභ සහ අවදානම් තත්ත්වය පුද්ගලයාගේ වයස, හෝමෝන ආදේශක ප්රතිකාර ක්රමය, මාත්රාව, ලබා දෙන ආකාරය, ප්රතිකාර ලබන කාලසීමාව මෙන්ම අදාළ පුද්ගලයාගේ පෞද්ගලිකත්වය සහ පවුලේ සෞඛ්ය ඉතිහාසය වැනි කරුණු මත රඳා පවතී.
ඔබගේ තත්ත්වය සලකා බලා අවදානම්වලට වඩා ඉන් ලැබිය හැකි ප්රතිලාභ වැඩි වීමට ඉඩක් තිබේද යන්න වටහා ගැනීමට සෞඛ්ය සේවා සපයන්නෙකුට ඔබට උපකාර කළ හැකිය.
5. යම් පුද්ගලයෙකුට ඊස්ට්රජන් සහ ප්රොජෙස්ටොජන් යන හෝමෝන වර්ග දෙකම අවශ්ය වන්නේ ඇයි?
ගර්භාෂයක් සහිත පුද්ගලයෙකු සඳහා මුළු ශරීරයටම බලපාන පරිදි ඊස්ට්රජන් පමණක් ලබා දීමෙන් ගර්භාෂයේ ඇතුළු ස්ථරය උත්තේජනය වී ගර්භාෂ පිළිකා ඇතිවීමේ අවදානම වැඩි විය හැක. එබැවින් ගර්භාෂයේ ඇතුළු ස්ථරය ආරක්ෂා කිරීම සඳහා සාමාන්යයෙන් ඊස්ට්රජන් සමඟ ප්රොජෙස්ටොජන් දෙවර්ගයම භාවිත කෙරේ. තවද,ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කමකට භාජනය වූ පුද්ගලයන්ගේ ප්රතිකාර අවශ්යතා මෙයට වඩා වෙනස් විය හැක.
6. ක්රමෝපායික හෝමෝන ආදේශක ප්රතිකාර ක්රම (Systemic HRT) සහ දේශීය හෝමෝන ආදේශක ප්රතිකාර ක්රම (Local HRT) අතර වෙනස කුමක්ද?
ක්රමෝපායික හෝමෝන ආදේශක ප්රතිකාර ක්රම මගින් හෝමෝන ලේ ගමනාගමනයට එක් කරන අතර එමගින් අධික රස්නයක් දැනීම වැනි සිරුරට වඩාත් පුළුල් ලෙස බලපාන රෝග ලක්ෂණ පාලනය කිරීමට උපකාරී වේ.
දේශීය හෝමෝන ආදේශක ප්රතිකාර යෝනි මාර්ගයට පමණක් යොදන ඊස්ට්රජන් මගින් යෝනි පටකවලට අඩු මාත්රාවක් ලබා දෙන අතර එය ප්රධාන වශයෙන් යෝනි මාර්ගය සහ මුත්රා පද්ධතිය ආශ්රිත ඇතැම් රෝග ලක්ෂණ සඳහා භාවිත වේ.
මෙහිදී, සුදුසු ප්රතිකාරය තීරණය වන්නේ පවතින රෝග ලක්ෂණ සහ පෞද්ගලික සෞඛ්ය තත්ත්වය මතවේ.
7. යෝනි මාර්ගයේ වියළි බව සහ ලිංගික එක්විමකදී ඇතිවන වේදනාව සඳහා හෝමෝන ආදේශක ප්රතිකාර ක්රම උපකාරී වනවාද?
ආර්තවහරණය නිසා යෝනි මාර්ගයේ ඇතිවන ඇතැම් රෝග ලක්ෂණ සඳහා හෝමෝන ප්රතිකාර මගින් සහනයක් ලබා දිය හැකිය. එමෙන්ම,ආර්තවහරණය නිසා ඇතිවන යෝනි මාර්ගයේ වියළි බව සහ වේදනාව සඳහා අදාළ පුද්ගලයාගේ සෞඛ්ය ඉතිහාසය සහ රෝග ලක්ෂණ අනුව යෝනි මාර්ගයට පමණක් යොදන ඊස්ට්රජන් හෝ වෙනත් ප්රතිකාරයක් සෞඛ්ය සේවා සපයන්නෙකු විසින් නිර්දේශ කරනු ලැබිය හැක.
8. සෞඛ්ය සේවා සපයන්නෙකු හමු නොවී හෝමෝන ආදේශක ප්රතිකාරය ආරම්භ කළ යුතුද?
නැත. හෝමෝන ආදේශක ප්රතිකාරය සෑම පුද්ගලයෙකුගේම සෞඛ්ය තත්ත්වයට ගැලපෙන පරිදි සකස් කළ යුතුය.
සුදුසුකම් ලත් සෞඛ්ය සේවා සපයන්නෙකුට ඔබගේ රෝග ලක්ෂණ, සෞඛ්ය පිලිබඳ ඉතිහාසය, ප්රතිකාර සඳහා යොමුවන අවස්ථාව වන විට ලබා ගන්නා ඖෂධ සහ පුද්ගලික අවදානම් සාධක පරීක්ෂා කර පවතින සුදුසුම විකල්ප පිළිබඳව ඔබ සමඟ සාකච්ඡා කළ හැක. ඔබ හෝමෝන ආදේශක ප්රතිකාරය ලබා ගැනීමට සිතන්නේ නම් හෝ එය ඔබට සුදුසුද යන්න දැන ගැනීමට අවශ්ය නම් ඒ සඳහා අවශ්ය සහය ලබාගැනීමට 077 955 2979 අංකය හරහා ශ්රී ලංකා පවුල් සංවිධාන සංගමයේ බ්ලූම් මධ්යස්ථානය සම්බන්ධ කර ගන්න.
ඔබගේ සහ ලබාදෙන තොරතුරුවල රහස්යභාවය සුරැකීමට FPA ශ්රී ලංකා ආයතනය බැඳී සිටියි.
ශ්රී ලංකා පවුල් සංවිධාන සංගමය (FPA Sri Lanka) පිළිබඳව
ශ්රී ලංකා පවුල් සංවිධාන සංගමය මගින් ලිංගික හා ප්රජනන සෞඛ්යය මෙන්ම යහපැවැත්ම පිළිබඳ තොරතුරු සහ සේවාවන් සපයනු ලබයි. ශ්රී ලංකා පවුල් සංවිධාන සංගමයේ බ්ලූම් මධ්යස්ථානය (Bloom by FPA Sri Lanka) හරහා ආර්තවහරණය ආශ්රිත ගැටලු ඇතුළුව ලිංගික හා ප්රජනන සෞඛ්යයට අදාළ විවිධ ගැටලු සඳහා ඕනෑම පුද්ගලයෙක්ට විශ්වාසනීය මෙන්ම රහස්යභාවය සුරකින වෘතිතීය මට්ටමේ සහය ලබා ගත හැක.
ඔබගේ සහ ලබාදෙන තොරතුරුවල රහස්යභාවය සහයක් අවශ්යද? 077 955 2979 අංකය හරහා ශ්රී ලංකා පවුල් සංවිධාන සංගමයේ බ්ලූම් මධ්යස්ථානය සම්බන්ධ කර ගන්න
වෛද්ය උපදෙස්: මෙම ලිපිය ඔබගේ සෞඛ්ය පිලිබඳ සාමාන්ය දැනුවත්භාවය උදෙසා පමණක් ඉදිරිපත් කර ඇති අතර සුදුසුකම් ලත් සෞඛ්ය සේවා වෘත්තිකයෙකු හමුවී ලබා ගන්නා වෛද්ය උපදෙසකට මෙය ආදේශකයක් නොවන බව මතක තබාගත යුතුය. එමෙන්ම, ආර්තවහරණයේ රෝග ලක්ෂණ සහ විකල්ප ප්රතිකාර ක්රම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.