ආර්තවහරණය සමයේදී ඇතිවන යෝනි මාර්ගයේ වියළි බව: හේතු සහ ප්‍රතිකාර | The Family Planning Association of Sri Lanka

ආර්තවහරණය සමයේදී ඇතිවන යෝනි මාර්ගයේ වියළි බව: හේතු සහ ප්‍රතිකාර

ආර්තවහරණය සිදුවන කාලයේදී සහ ඉන් පසුව ඇතිවන යෝනි මාර්ගයේ වියළි බව සාමාන්‍ය තත්ත්වයක් වුවද, බොහොමයක් දෙනා ඒ පිළිබඳව කතා කිරීමට මැලි වෙති. මෙම තත්ත්වය එදිනෙදා ජීවිතයේ සුව පහසුවට, අන්‍යෝන්‍ය සමීපත්වයට මෙන්ම ලිංගික සුවතාවයටද බලපෑම් ඇති කළ හැකිය. වැදගත්ම කරුණ නම්, මේ සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රම පැවතීමයි.

1. ආර්තවහරණය සමයේදී යෝනි මාර්ගයේ වියළි බව ඇතිවන්නේ ඇයි?

ශරීරයේ ඊස්ට්‍රජන් හෝමෝන මට්ටම පහළ යාමත් සමඟ යෝනි මාර්ගයේ පටක සිහින් වීම, ඇදෙන සුළු බව අඩුවීම සහ ස්වාභාවික තෙතමනය අඩුවීම සිදුවේ.

මෙම වෙනස්කම් යෝනි මාර්ගයේ විවරය වටා ඇති පටකවලට සහ මුත්‍රා පද්ධතියටද බලපෑම් ඇති කළ හැක. මෙම වෙනස්කම් සමඟ ඇතිවන ලක්ෂණ වෛද්‍ය විද්‍යාවේදී "ආර්තවහරණය ආශ්‍රිත ජනන-මුත්‍රා පද්ධති සින්ඩ්‍රෝමය (GSM)" (Genitourinary Syndrome of Menopause - GSM) ලෙස හඳුන්වනු ලබයි.

2. යෝනි මාර්ගයේ වියළි බව නිසා ඇතිවන අපහසුතා මොනවාද?

වියළි බව, දැවිල්ල, කැසීම, අපහසුතාව හෝ රිදුම් දෙන ස්වභාවය මෙම ලක්ෂණ අතර වේ.

මීට අමතරව, ලිංගික එක්වීමේදී ඇතිවන අපහසුතාව, සංවේදීතාව වැඩිවීම හෝ හදිසියේ මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාව සහ නිතර නිතර ඇතිවන මුත්‍රා මාර්ගයේ ආසාදන වැනි තත්ත්වයන්ද ඇතැම් අයට ඇතිවිය හැක.

3. යෝනි මාර්ගයේ වියළි බව ලිංගික ජීවිතයට බලපාන්නේ කෙසේද?

ඔව්, බලපෑම් ඇති කළ හැක. ස්වාභාවික තෙතමනය අඩුවීම නිසා ලිංගික එක්වීමේදී ඇතිවන ඝර්ෂණය වැඩිවී අපහසුතාව හෝ වේදනාව ඇතිවිය හැක.

එපමණක් නොවේ. වේදනාවක් ඇතිවේ යැයි සිතීමෙන් ඇතිවන බිය නිසා ලිංගික උත්තේජනය සහ ආශාව අඩුවිය හැකි අතර එමගින් ශාරීරික අපහසුතාවයන් මනසට සහ ලිංගික සුවතාවයට අහිතකර ලෙස බලපාන චක්‍රයක් නිර්මාණය වේ.

4. ලිහිසි ද්‍රව්‍ය සහ යෝනි ආලේපන අතර වෙනස කුමක්ද?

ලිහිසි ද්‍රව්‍යයක් සාමාන්‍යයෙන් භාවිතා කරනු ලබන්නේ ලිංගික එක්වීමේදී ඝර්ෂණය අඩුකර පහසුව ඇතිකර ගැනීම සඳහාය.

යෝනි ආලේපනයක් යනු පවතින වියළි බව සමනය කරගැනීම සඳහා නිරන්තරයෙන්ක්‍ ක්‍රමානුකූලව භාවිතා කරන ආලේපනයකි. මේවායේ අරමුණු එකිනෙකට වෙනස් වන අතර රෝග ලක්ෂණ තදින් හෝ දිගටම පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබාගතයුතු අතර ආලේපන මත පමණක් යැපීම සුදුසු නොවේ.

5. ලිහිසි ද්‍රව්‍ය මගින් යෝනි මාර්ගයේ වියළි බවට සහනයක් ලැබේ ද?

ඔව්. ලිහිසි ද්‍රව්‍ය මගින් ඝර්ෂණය අඩු කර ලිංගික එක්වීම වඩාත් පහසු කරවිය හැක.

කෙසේ වෙතත්, වියළි බව දිගටම පවතින්නේ නම්, ලිහිසි ද්‍රව්‍ය මත පමණක් යැපීමෙන් යෝනි පටකවල සිදුවී ඇති වෙනස්කම් සඳහා විසඳුම් නොලැබේ. එබැවින්, සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවී අමතර ප්‍රතිකාර ක්‍රම පිළිබඳව සාකච්ඡා කිරීම අතිශය වැදගත් වේ.

6. යෝනි මාර්ගයේ වියළි බවට ඊස්ට්‍රජන් මගින් ප්‍රතිකාර කළ හැකිද?

ඇතැම් පුද්ගලයන් සඳහා ප්‍රතිකාර කළ හැකිය. යෝනි මාර්ගයට පමණක් යොදන ඊස්ට්‍රජන් කුඩා මාත්‍රාවක් (Low-dose local vaginal oestrogen) මගින් යෝනි මාර්ගයේ වියළි බව සහ ඊට අදාළ ලක්ෂණ අවම කරගත හැක.

එය ප්‍රධාන වශයෙන් යෝනි පටක මත පමණක් ක්‍රියා කරන අතර මුළු ශරීරයටම බලපාන හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාරවලට (HRT) වඩා වෙනස් වේ. මෙය ඔබට සුදුසුද යන්න තීරණය වන්නේ ඔබේ පෞද්ගලික සෞඛ්‍ය තත්ත්වය මත බැවින් ඒ පිළිබඳව වෛද්‍යවරයකු සමඟ සාකච්ඡා කළ යුතුය.

7. යෝනි මාර්ගයේ වියළි බව ඉබේම පහව යනවාද ?

එසේ සිදුවන්නේ නැත. ආර්තවහරණයේ ඇතැම් ලක්ෂණ කාලයත් සමඟ අඩුවී ගියද, ඊස්ට්‍රජන් හෝමෝනය අඩුවීම නිසා යෝනි මාර්ගයේ සහ මුත්‍රා පද්ධතියේ ඇතිවන බලපෑම් දිගටම පැවතිය හැක.

වියළි බව නිසා ඔබේ එදිනෙදා පහසුවට, සබඳතාවලට හෝ ලිංගික සුවතාවයට බාධා ඇතිවේ නම්, ඔබ එම තත්ත්වය සමඟ ජීවත් විය යුතු යැයි නොසිතා සුදුසු ප්‍රතිකාර ක්‍රම පිළිබඳව වෛද්‍යවරයකු සමඟ සාකච්ඡා කිරීම වැදගත් වේ.

8. වෛද්‍ය උපදෙස් ලබාගත යුත්තේ කවදාද?

යෝනි මාර්ගයේ වියළි බව දිගින් දිගටම පවතින්නේ නම්, එය ඔබට වේදනාකාරී නම්, රුධිරය පිටවීම, අසාමාන්‍ය ලෙස ශ්‍රාවයන් පිටවීම, දැවිල්ල හෝ මුත්‍රා පිටකිරීමේ අපහසුතා ඇත්නම්, හෝ එය ඔබේ ලිංගික සුවතාවයට බලපාන්නේ නම් වහාම වෛද්‍යවරයකු හමුවී උපදෙස් ලබාගත යුතුය.

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය (FPA Sri Lanka) පිළිබඳව

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මගින් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය මෙන්ම යහපැවැත්ම පිළිබඳ තොරතුරු සහ සේවාවන් සපයනු ලබයි. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ බ්ලූම් මධ්‍යස්ථානය (Bloom by FPA Sri Lanka) හරහා ආර්තවහරණය ආශ්‍රිත ගැටලු ඇතුළුව ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යයට අදාළ විවිධ ගැටලු සඳහා ඕනෑම පුද්ගලයෙක්ට විශ්වාසනීය මෙන්ම රහස්‍යභාවය සුරකින වෘතිතීය මට්ටමේ සහය ලබා ගත හැක.

ඔබගේ සහ ලබාදෙන තොරතුරුවල රහස්‍යභාවය සහයක් අවශ්‍යද? 077 955 2979 අංකය හරහා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ බ්ලූම් මධ්‍යස්ථානය සම්බන්ධ කර ගන්න

වෛද්‍ය උපදෙස්: මෙම ලිපිය ඔබගේ සෞඛ්‍ය පිලිබඳ සාමාන්‍ය දැනුවත්භාවය උදෙසා පමණක් ඉදිරිපත් කර ඇති අතර සුදුසුකම් ලත් සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකු හමුවී ලබා ගන්නා වෛද්‍ය උපදෙසකට මෙය ආදේශකයක් නොවන බව මතක තබාගත යුතුය. එමෙන්ම, ආර්තවහරණයේ රෝග ලක්ෂණ සහ විකල්ප ප්‍රතිකාර ක්‍රම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

 

Author

The Family Planning Association of Sri Lanka

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2026 | Family Planning Association All Rights Reserved
As Imagined By