ආර්තවහරණය සහ ලිංගික සෞඛ්‍යය: සිදුවන වෙනස්කම් මොනවාද? | The Family Planning Association of Sri Lanka

ආර්තවහරණය සහ ලිංගික සෞඛ්‍යය: සිදුවන වෙනස්කම් මොනවාද?

ජීවිතයේ සෑම කාලපරිච්ඡේදයකදීම ලිංගික සෞඛ්‍යය යනු සමස්ත යහපැවැත්මේ වැදගත් කොටසකි. ආර්තවහරණය නිසා ලිංගික එක්වීමක් සඳහා පවතින කැමැත්ත/ආශාව, ලිංගික උත්තේජනය, යෝනි මාර්ගයේ තෙතමනය සහ පහසුව කෙරෙහි බලපෑම් ඇති විය හැකි අතර මෙම වෙනස්කම් සිදුවීම මගින් ලිංගික තෘප්තිය හෝ සමීපතාවය නැති වී යා යුතු යැයි අදහස් නොවේ.

1. ආර්තවහරණය ලිංගික සෞඛ්‍යයට බලපාන්නේ කෙසේද?

ඊස්ට්‍රජන් හෝමෝනය අඩුවීම මගින් යෝනි මාර්ගයේ පටක සහ තෙතමනය කෙරෙහි වෙනස්කම් ඇති විය හැක. එසේම ඇතැම් පුද්ගලයන්ට ලිංගික එක්වීමක් සඳහා පවතින කැමැත්ත/ආශාව, ලිංගික උත්තේජනය හෝ ලිංගික ප්‍රතිචාරයන්හි වෙනස්කම් නිරීක්ෂණය විය හැක.

මෙම ශාරීරික වෙනස්කම්, මානසික සුවතාවය, නින්ද, මානසික පීඩනය, භාවිත කරන ඖෂධ සහ සහකරු/සහකාරිය සමඟ පවතින සබඳතාවයේ ස්වභාවය යන කරුණු සමඟ සෘජුවම බද්ධ වී පවතී.

2. ආර්තවහරණය නිසා ලිංගිකව උත්තේජනය වීම අභියෝගයක් විය හැකිද?

ආර්තවහරණයෙන් පසු ලිංගිකව උත්තේජනය වීමට වැඩි කාලයක් ගතවන බව හෝ එහි වෙනසක් දැනෙන බව ඇතැම් පුද්ගලයන්ට නිරීක්ෂණය වේ.

එසේම යෝනි මාර්ගයේ තෙතමනය අඩුවීම නිසා ලිංගික එක්වීම පහසු නොවිය හැක. මෙහිදී ලිංගික උත්තේජනය සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා ගැනීම, සහකරු/සහකාරිය සමඟ විවෘතව අදහස් හුවමාරු කරගැනීම සහ යෝනි මාර්ගයේ වියළි බව සඳහා පිළියම් යෙදීම උපකාරී විය හැක.

3. ආර්තවහරණය මගින් උපරිම ලිංගික තෘප්තිය කරා ළඟාවීමට බලපෑමක් ඇති වේද?

ඇතැම් පුද්ගලයන්ගේ ලිංගික ප්‍රතිචාරයන්හි වෙනස්කම් නිරීක්ෂණය වන අතර උපරිම ලිංගික තෘප්තිය කරා ළඟාවීමට වැඩි කාලයක් ගතවීම හෝ එහි වෙනසක් දැනීම ආදිය සිදුවිය හැකිය.

හෝමෝන වෙනස්කම්, භාවිත කරන ඖෂධ, මානසික පීඩනය, මානසික තත්ත්වය, සහකරු/සහකාරිය සමඟ සබඳතාවය සහ ශාරීරික නොසන්සුන්තාවයන් ඇතුළු කරුණු කිහිපයක් මෙයට හේතු විය හැක.

4. ආර්තවහරණය යනු ලිංගික එක්වීම කෙරෙහි ඇති උනන්දුව සම්පූර්ණයෙන්ම නැති වී යාමද?

නැත. ලිංගික එක්වීමක් සඳහා පවතින කැමැත්ත/ආශාව එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

ඇතැම් පුද්ගලයන්ගේ කැමැත්ත/ආශාව අඩුවන අතර, තවත් පිරිසකට එහි කිසිදු වෙනසක් සිදු නොවේ. විශේෂයෙන්ම ගැබ්ගැනීම් පිළිබඳ බිය හෝ මාසික ඔසප් වීම පිළිබඳ ඇතිවන අපහසුතා තවදුරටත් නොමැති නිසා ආර්තවහරණයෙන් පසුව තම ලිංගික ජීවිතය පිළිබඳව වඩාත් පහසුවක් දැනෙන පිරිසක් ද සිටිති.

5. ආර්තවහරණයෙන් පසුවද ලිංගිකව තෘප්තිමත් විය හැකිද?

අනිවාර්යයෙන්ම. ආර්තවහරණය යනු ලිංගික තෘප්තියේ හෝ සමීපතාවයේ අවසානය නොවේ.

යෝනි මාර්ගයේ වියළි බව, වේදනාව හෝ ලිංගික ප්‍රතිචාරයන්ගේ වෙනස්කම් ඔබගේ අත්දැකීමට බලපෑම් කරන්නේ නම් එම බොහෝ ගැටලු සඳහා විසඳුම් ලබා ගැනීමට හැකි ක්‍රමවේද පවතී.

6. ලිංගික එක්වීම අපහසුතාවයක් ගෙනදෙන්නේ නම් මා කළ යුත්තේ කුමක්ද?

ලිංගික එක්වීම අතරතුර ඇතිවන ඝර්ෂණය අවම කරගැනීමට ලිහිසි ද්‍රව්‍ය උපකාරී වන අතර දිගින් දිගටම පවතින වියළි බව සඳහා යෝනි මාර්ගය තෙතමනය කරන ආලේපන භාවිතා කළ හැක.

රෝග ලක්ෂණ දිගටම පවතින්නේ නම්, යෝනි මාර්ගයට පමණක් යොදන ඊස්ට්‍රජන් හෝ වෙනත් ප්‍රතිකාරයක් සුදුසුද යන්න පිළිබඳව සෞඛ්‍ය සේවා සපයන්නෙක් හරහා පරීක්ෂා කර බැලිය හැක.

7. ලිංගික ගැටලු පිළිබඳව මා සෞඛ්‍ය සේවා සපයන්නෙකු සමඟ සාකච්ඡා කළ යුතුද?

ඔව්. ලිංගික සෞඛ්‍යය යනු සෞඛ්‍ය ආරක්ෂණයේ වැදගත් කොටසකි.

යෝනි මාර්ගයේ වියළි බව, එක්විමකදී ඇතිවන වේදනාව, ලිංගික එක්වීමක් සඳහා පවතින කැමැත්තේ/ආශාවේ සහ ලිංගික උත්තේජනයේ වෙනස්කම් වැනි ගැටලු පිළිබඳව සෞඛ්‍ය සේවා සපයන්නන්ට ඔබ සමඟ සාකච්ඡා කළ හැක. ගෞරවනීය මෙන්ම ඔබගේ රහස්‍යභාවය සුරකින සේවාවක් ලබාගැනීම සඳහා ඔබට අයිතිය ඇත.

8. අපගේ රහස්‍යභාවය සුරකින සේවාවක් ලබා ගත හැක්කේ කොතැනින්ද?

ආර්තවහරණය ඔබගේ ලිංගික සුවතාවයට බලපෑම් කරන්නේ නම් පෞද්ගලික උපදෙස් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය සේවා සපයන්නෙකු හමුවී සාකච්ඡා කරන්න. රහස්‍යභාවය සුරකින ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සහය ලබා ගැනීමට 077 955 2979 අංකය හරහා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ බ්ලූම් මධ්‍යස්ථානය සම්බන්ධ කර ගන්න.

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය (FPA Sri Lanka) පිළිබඳව

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මගින් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය මෙන්ම යහපැවැත්ම පිළිබඳ තොරතුරු සහ සේවාවන් සපයනු ලබයි. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ බ්ලූම් මධ්‍යස්ථානය (Bloom by FPA Sri Lanka) හරහා ආර්තවහරණය ආශ්‍රිත ගැටලු ඇතුළුව ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යයට අදාළ විවිධ ගැටලු සඳහා ඕනෑම පුද්ගලයෙක්ට විශ්වාසනීය මෙන්ම රහස්‍යභාවය සුරකින වෘතිතීය මට්ටමේ සහය ලබා ගත හැක.

ඔබගේ සහ ලබාදෙන තොරතුරුවල රහස්‍යභාවය සහයක් අවශ්‍යද? 077 955 2979 අංකය හරහා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ බ්ලූම් මධ්‍යස්ථානය සම්බන්ධ කර ගන්න

වෛද්‍ය උපදෙස්: මෙම ලිපිය ඔබගේ සෞඛ්‍ය පිලිබඳ සාමාන්‍ය දැනුවත්භාවය උදෙසා පමණක් ඉදිරිපත් කර ඇති අතර සුදුසුකම් ලත් සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකු හමුවී ලබා ගන්නා වෛද්‍ය උපදෙසකට මෙය ආදේශකයක් නොවන බව මතක තබාගත යුතුය. එමෙන්ම, ආර්තවහරණයේ රෝග ලක්ෂණ සහ විකල්ප ප්‍රතිකාර ක්‍රම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

 

Author

The Family Planning Association of Sri Lanka

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2026 | Family Planning Association All Rights Reserved
As Imagined By