ආර්තවහරණය (Menopause) පිළිබඳව ඉතා අවම වශයෙන් සාකච්ඡාවට බඳුන්වන එක් ප්රධාන මාතෘකාවක් වන්නේ ලිංගික එක්වීමක් සඳහා පවතින කැමැත්තේ/ආශාවේ සිදුවන වෙනස්කම් ය. ලිංගික එක්වීමක් සඳහා පවතින කැමැත්ත/ආශාව කෙරෙහි හෝමෝනවලට අමතරව තවත් බොහෝ කරුණු බලපායි. ශාරීරික වශයෙන් දැනෙන පහසුව, නින්ද, මානසික පීඩනය, මානසික සුවතාවය, භාවිත කරන ඖෂධ මෙන්ම සහකරු/සහකාරිය සමඟ පවතින සබඳතාවය ද ලිංගික එක්වීමක් සඳහා පවතින කැමැත්ත/ආශාව කෙරෙහි බලපෑම් කළ හැක.
1. ආර්තවහරණය නිසා ලිංගික එක්වීමක් සඳහා පවතින කැමැත්ත/ආශාව අඩු විය හැකිද?
ඔව්. යම් පුද්ගලයෙකුගේ ආර්තවහරණය ආසන්න වන විට හෝ ආර්තවහරණයෙන් පසුව ලිංගික එක්වීමක් සඳහා පවතින කැමැත්තේ/ආශාවේ අඩුවීමක් දැකිය හැකිය. මේ සඳහා හෝමෝනවල සිදුවන වෙනස්කම් ආදිය හේතු විය හැකි නමුත් ලිංගික එක්වීමක් සඳහා පවතින කැමැත්ත/ආශාව යනු සංකීර්ණ තත්ත්වයකි. ආශාවේ වෙනසක් සිදුවූ පමණින්ම එයට එකම හේතුව හෝමෝන වෙනස්කම් පමණක් යැයි නිගමනය කළ නොහැක.
2. හෝමෝන මගින් ලිංගික එක්වීමක් සඳහා පවතින කැමැත්තට/ආශාවට බලපෑම් කරන්නේ කෙසේද?
ඊස්ට්රජන් හෝමෝනය අඩුවීම මගින් යෝනි මාර්ගයේ තෙතමනය සහ ලිංගික ප්රදේශයේ පටක කෙරෙහි බලපෑම් ඇති කළ හැකි අතර හෝමෝන වෙනස්කම් මගින් ලිංගික ප්රතිචාරයන් ද වෙනස් විය හැකිය.
කෙසේ වෙතත්, කැමැත්ත/ආශාව කෙරෙහි මානසික, සමාජීය මෙන්ම සබඳතා පිළිබඳ කරුණු ද බලපානු ලබයි. මානසික පීඩනය, අධික වෙහෙස, ප්රමාණවත් නින්දක් නොලැබීම, කාංසාව, විශාදය, භාවිත කරන ඖෂධ සහ ශාරීරික නොසන්සුන්තාවයන් මේ සඳහා හේතු විය හැක.
3. යෝනි මාර්ගයේ වියළි බව ලිංගික එක්වීමක් සඳහා පවතින කැමැත්තට/ආශාවට බලපායිද?
ඔව්. ලිංගික එක්වීම වියළි, අපහසුතාවයන් සහිත හෝ වේදනාකාරී එකක් වන්නේ නම් ලිංගික ක්රියාකාරකම් කෙරෙහි පවතින උනන්දුව අඩුවීම සාමාන්ය තත්ත්වයකි.
එබැවින්, යෝනි මාර්ගයේ වියළි බව සහ වේදනාව සඳහා පිළියම් යෙදීම ලිංගික සුවතාවය ඉහළ නැංවීමේ වැදගත් පියවරක් විය හැකිය.
4. ආර්තවහරණයෙන් පසු ලිංගික එක්වීමක් සඳහා පවතින කැමැත්ත/ආශාව අඩුවීම අසාමාන්ය තත්ත්වයක් ද?
නැත. ලිංගික එක්වීමක් සඳහා පවතින කැමැත්තේ/ආශාවේ "සාමාන්ය" මට්ටම මෙය යැයි නිර්ණය කිරීමට එක ප්රමිතියක් නොමැත. වැදගත් වන්නේ එම වෙනස්වීම ඔබට "එය එසේනොවිය යුතුයි" හෝ එය මානසික පීඩනයක් ඇති කිරීම හෝ එසේ නැතහොත් එය ඔබගේ පවුල් ජීවිතයට/සබඳතාවයට හෝ ජීවන තත්ත්වයට බලපාන්නේද යන්නයි. එසේ වන්නේ නම්, ඔබ එය උපේක්ෂාවෙන් දරාගත යුතු නැත. මන්ද, ඒ සඳහා බලපාන හේතු සොයා ගැනීමට සෞඛ්ය සේවා සපයන්නෙකුට ඔබට උපකාර කළ හැක.
5. මානසික පීඩනය සහ ප්රමාණවත් නින්ද නොලැබීම ලිංගික එක්වීමක් සඳහා පවතින කැමැත්තට/ආශාවට බලපායිද?
අනිවාර්යයෙන්ම. මානසික පීඩනය සහ අධික වෙහෙස මගින් ලිංගික එක්වීම කෙරෙහි ඇති උනන්දුව සැලකිය යුතු ලෙස අඩු කළ හැක. ආර්තවහරණය සමයේදී ඇතිවන රාත්රී කාලයේ අධික ලෙස දහඩිය දැමීම සහ නින්දට බාධා ඇතිවීම නිසා සිරුරට දැනෙන වෙහෙස තවත් වැඩි විය හැකිය.
එබැවින් සුවදායි නින්දක් ලබා ගැනීම සහ මානසික පීඩනය අවම කරගැනීම, ලිංගික සුවතාවය වැඩිදියුණු කරගැනීමට වැදගත් වේ.
6. ඖෂධ මගින් ලිංගික එක්වීමක් සඳහා පවතින කැමැත්තට/ආශාවට බලපෑම් ඇති කළ හැකිද?
ඔව්. ඇතැම් ඖෂධ මගින් ලිංගික එක්වීමක් සඳහා පවතින කැමැත්ත/ආශාව හෝ ලිංගික ප්රතිචාරයන් කෙරෙහි බලපෑම් ඇති කළ හැකිය. ඖෂධයක් ලබා ගැනීම ආරම්භ කිරීමෙන් පසු යම්කිසි වෙනසක් නිරීක්ෂණය වන්නේ නම් ඔබගේ සෞඛ්ය සේවා සපයන්නා හමුවී සාකච්ඡා කරන්න. වෛද්ය උපදෙස් නොමැතිව ලබා ගන්නා ඖෂධ නතර කිරීමෙන් වළකින්න.
7. ලිංගික එක්වීමක් සඳහා පවතින කැමැත්තේ/ආශාවේ අඩුවීම මට අපහසුතාවයක් ගෙනදෙන්නේ නම් කළ හැක්කේ කුමක්ද?
පළමු පියවර වන්නේ මෙම වෙනසට හේතු වන්නේ කුමක්දැයි හඳුනා ගැනීමයි. යෝනි මාර්ගයේ වියළි බව හෝ වේදනාව, නින්ද, මානසික පීඩනය, මානසික තත්ත්වය, ඖෂධ, සහකරු/සහකාරිය සමඟ සබඳතාවයේ පවතින කරුණු සහ හෝමෝන වෙනස්කම් පිළිබඳව සොයා බැලීම මෙයට ඇතුළත් විය හැක.
ඔබට අදාළ හේතු සාධක මත පදනම්ව සුදුසු ප්රතිකාර හෝ උපදේශනය මගින් සහනයක් ලබා ගත හැකි අතර වඩාත්ම සුදුසු ක්රමවේදය තීරණය කිරීම සඳහා සෞඛ්ය සේවා සපයන්නෙකුට ඔබට උපකාර කළ හැක.
8. වෘත්තීයමය සහයක් ලබා ගත යුත්තේ කවදාද?
ලිංගික එක්වීමක් සඳහා පවතින කැමැත්තේ/ආශාවේ දිගින් දිගටම පවතින වෙනස්වීම් නිසා ඔබට මානසික පීඩනයක් ඇති කරන්නේ නම් හෝ මෙම තත්ත්වය ඔබගේ සබඳතාවයට හෝ ජීවන තත්ත්වයට බලපෑම් කරන්නේ නම් හෝ සෞඛ්ය සේවා සපයන්නෙකු හමුවී සාකච්ඡා කිරීමට යොමු වන්න.
ලිංගික සෞඛ්යය යනු සෞඛ්ය ආරක්ෂණයේම කොටසක් වන අතර ඒ සඳහා සහය ලබා ගැනීමට ලැජ්ජා විය යුතු නැත.
ශ්රී ලංකා පවුල් සංවිධාන සංගමය (FPA Sri Lanka) පිළිබඳව
ශ්රී ලංකා පවුල් සංවිධාන සංගමය මගින් ලිංගික හා ප්රජනන සෞඛ්යය මෙන්ම යහපැවැත්ම පිළිබඳ තොරතුරු සහ සේවාවන් සපයනු ලබයි. ශ්රී ලංකා පවුල් සංවිධාන සංගමයේ බ්ලූම් මධ්යස්ථානය (Bloom by FPA Sri Lanka) හරහා ආර්තවහරණය ආශ්රිත ගැටලු ඇතුළුව ලිංගික හා ප්රජනන සෞඛ්යයට අදාළ විවිධ ගැටලු සඳහා ඕනෑම පුද්ගලයෙක්ට විශ්වාසනීය මෙන්ම රහස්යභාවය සුරකින වෘතිතීය මට්ටමේ සහය ලබා ගත හැක.
ඔබගේ සහ ලබාදෙන තොරතුරුවල රහස්යභාවය සහයක් අවශ්යද? 077 955 2979 අංකය හරහා ශ්රී ලංකා පවුල් සංවිධාන සංගමයේ බ්ලූම් මධ්යස්ථානය සම්බන්ධ කර ගන්න
වෛද්ය උපදෙස්: මෙම ලිපිය ඔබගේ සෞඛ්ය පිලිබඳ සාමාන්ය දැනුවත්භාවය උදෙසා පමණක් ඉදිරිපත් කර ඇති අතර සුදුසුකම් ලත් සෞඛ්ය සේවා වෘත්තිකයෙකු හමුවී ලබා ගන්නා වෛද්ය උපදෙසකට මෙය ආදේශකයක් නොවන බව මතක තබාගත යුතුය. එමෙන්ම, ආර්තවහරණයේ රෝග ලක්ෂණ සහ විකල්ප ප්රතිකාර ක්රම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.