ආර්තවහරණය යනු ජීවිතයේ එක් ස්වාභාවික සන්ධිස්ථානයකි. කෙසේ නමුත්, මේ හේතුවෙන් විවෘතව සාකච්ඡා නොකෙරෙන ශාරීරික, මානසික සහ ලිංගික වෙනස්කම් ඇති විය හැක. ආර්තවහරණයේදී සිදුවන තත්ත්වයන් පිළිබඳව වටහා ගැනීම එම වෙනස්කම් හඳුනා ගැනීමටත්, ඔබගේ සෞඛ්යය පිළිබඳව නිවැරදි තීරණ ගැනීමටත්, වෘත්තීයමය සහයක් ලබා ගත යුත්තේ කවර අවස්ථාවක දැයි දැන ගැනීමටත් උපකාරී වේ.
ශ්රී ලංකා පවුල් සංවිධාන සංගමය (FPA Sri Lanka) ආර්තවහරණය යනු මාසික ඔසප් වීම නැවතීමට පමණක් සීමා වූවක් නොවන බව වටහාගෙන ඇති අතර එමගින් ශාරීරික සෞඛ්යය, මානසික සුවතාවය, සහකරු/සහකාරිය සමඟ පවතින සබඳතා සහ ලිංගික සෞඛ්යය කෙරෙහි බලපෑම් ඇති විය හැකි බවත් වටහාගෙන ඇත.
1. ආර්තවහරණය යනු කුමක්ද?
ඩිම්බකෝෂවල ක්රියාකාරීත්වය සහ ප්රජනන හෝමෝන ස්වාභාවිකවම අඩුවීම හේතුවෙන් පුද්ගලයෙකුට මාස 12 ක් අඛණ්ඩව මාසික ඔසප් වීම සිදු නොවීම ආර්තවහරණය ලෙස අර්ථ දැක්වේ. එමගින් ප්රජනන කාලසීමාවේ අවසානය සනිටුහන් වේ.
කෙසේ නමුත්, ආර්තවහරණය යනු එක රැයකින් සිදුවන දෙයක් නොවන අතර හෝමෝන වෙනස්කම් සාමාන්යයෙන් ආර්තවහරණයට පෙර සමයේදීම වසර කිහිපයකට පෙර ආරම්භ වන අතර ඔසප් වීම සම්පූර්ණයෙන්ම නැවතීමට පෙර සිටම රෝග ලක්ෂණ මතු විය හැක.
2. ආර්තවහරණය සාමාන්යයෙන් ආරම්භ වන්නේ කුමන වයසේදී ද?
ස්වභාවයෙන් ආර්තවහරණය බොහෝ විට සිදුවන්නේ වයස අවුරුදු 45 ත් 55 ත් අතර කාලයේදී වුවද පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙහි පැහැදිලි වෙනස්කම් පැවතිය හැක.
ජානමය සාධක, ඇතැම් වෛද්ය ප්රතිකාර සහ සැත්කම් වැනි කරුණු මගින් මේ සඳහා ගතවන කාලය කෙරෙහි බලපෑම් ඇති විය හැක. වයස අවුරුදු 45 ට පෙර සිදුවන ආර්තවහරණය "මුල් අවධියේ සිදුවන ආර්තවහරණය" (Early menopause) ලෙසත්, වයස අවුරුදු 40 ට පෙර සිදුවන ආර්තවහරණය "නොමේරූ ආර්තවහරණය" (Premature menopause) ලෙසත් සැලකෙන අතර ඒ පිළිබඳව පිළිබඳව සෞඛ්ය සේවා සපයන්නෙකු සමඟ සාකච්ඡා කළ යුතුය.
3. ආර්තවහරණයේ මුලික ලක්ෂණ මොනවාද?
මාසික ඔසප් චක්රයේ සිදුවන වෙනස්කම් බොහෝ විට මුලික ලක්ෂණ අතර වේ. ඔසප් වීම අක්රමවත් බව මෙන්ම නැතහොත් ඔසප්වීම් අතර කාල පරතරය අඩුවීම හෝ වැඩිවීම මෙන්ම රුධිර වහනය වැඩිවීම හෝ අඩුවීම සිදුවිය හැකිය.
අනෙකුත් මුලික රෝග ලක්ෂණ අතර අධික රස්නයක් දැනීම, රාත්රියට අධික ලෙස දහඩිය දැමීම, නින්ද නොයාම හෝ නින්ද පිළිබඳ ගැටලු, මානසික තත්ත්වයේ වෙනස්වීම්, අධික වෙහෙස, අවධානය යොමු කිරීමේ අපහසුතාවය, යෝනි මාර්ගයේ වියළි බව සහ ලිංගික එක්වීමක් සඳහා පවතින කැමැත්තේ/ආශාවේ වෙනස්කම් ඇතුළත් විය හැක.
4. ආර්තවහරණය හේතුවෙන් විවිධාකාර රෝග ලක්ෂණ ඇතිවන්නේ ඇයි?
මේ සඳහා ප්රධානතම හේතුව වන්නේ හෝමෝන මට්ටම්වල, විශේෂයෙන්ම ඊස්ට්රජන් හෝමෝනයේ සිදුවන වෙනස්කම් වේ. ඊස්ට්රජන් මගින් ප්රජනන පද්ධතිය, මොළය, අස්ථි සහ හදවත හා රුධිර වාහිනී පද්ධතිය ඇතුළු ශරීරයේ බොහෝ කොටස් කෙරෙහි බලපෑම් ඇති කරන අතර හෝමෝන මට්ටම් වෙනස් වී අවසානයේදී පහත වැටෙන විට, විවිධ පුද්ගලයන්ට විවිධ රෝග ලක්ෂණවල මිශ්ර ඵල අත්විඳීමට සිදුවේ. එබැවින්, සෑම පුද්ගලයෙකුටම එකම ආකාරයේ "ආර්තවහරණ අත්දැකීමක්" නොමැත්තේ එබැවිනි.
5. ආර්තවහරණය මගින් මානසික සුවතාවයට බලපෑම් ඇති කළ හැකිද?
ඔව්. ආර්තවහරණය සිදුවන කාලසීමාවේදී ඇතැම් පුද්ගලයන්ට කෝපය/කලබලකාරී බව, කාංසාව, මානසික පසුබෑම, අවධානය යොමු කිරීමේ අපහසුතාවය හෝ හැඟීම්බර සුවතාවයේ වෙනස්කම් අත්විඳීමට සිදුවේ.
හෝමෝන වෙනස්කම් මෙයට හේතු විය හැකි අතර ප්රමාණවත් නින්දක් නොලැබීම, අධික රස්නයක් දැනීම, මානසික පීඩනය, සහකරු/සහකාරිය සමඟ පවතින සබඳතා සහ වෙනත් තත්ත්වයන් සඳහාද බලපායි. කෙසේ නමුත්, දිගින් දිගටම පවතින දැඩි කාංසාව හෝ විශාදය ආර්තවහරණය නිසාම සිදුවූවක් ලෙස නොසැලකිය යුතු අතර අවශ්ය සහය ලබා ගැනීමට සෞඛ්ය සේවා සපයන්නෙකු හමුවී සාකච්ඡා කරන්න.
6. ආර්තවහරණය ලිංගික සෞඛ්යයට බලපාන්නේ කෙසේද?
ඔව්. ඊස්ට්රජන් හෝමෝන මට්ටම අඩුවීම මගින් යෝනි මාර්ගයේ වියළි බව සහ යෝනි පටකවල වෙනස්කම් ඇති විය හැකි අතර එමගින් ලිංගික එක්වීමේදී අපහසුතාවයක් හෝ වේදනාවක් ඇති විය හැකිය.
එසේම, ආර්තවහරණය හේතුවෙන් ඇතැම් පුද්ගලයන්ගේ ලිංගික එක්වීමක් සඳහා පවතින කැමැත්තේ/ආශාවේ හෝ ලිංගික උත්තේජනයේ වෙනස්කම් ඇති වේ. කෙසේ නමුත්, හෝමෝන, නින්ද, මානසික පීඩනය, භාවිත කරන ඖෂධ, මානසික සුවතාවය සහ සබඳතාවයේ පවතින කරුණු ඇතුළු හේතු කිහිපයක් නිසා මෙවැනි වෙනස්කම් සිදුවිය හැක.
7. ආර්තවහරණය යනු ලිංගික ජීවිතයේ අවසානයද?
සෑම අවස්ථාවකදීම එය එසේ නොවේ. ආර්තවහරණය යන්නෙන් ලිංගික තෘප්තිය, සමීපතාවය හෝ සබඳතා අවසන් විය යුතු බව මෙයින් අදහස් නොකරයි.
මෙහිදී, ලිංගිකත්වය සඳහා ඇතැම් පුද්ගලයන්ගේ කැමැත්තේ/ආශාවේ හෝ ශාරීරික පහසුවෙහි වෙනස්කම් අත්විඳින නමුත් එවැනි බොහෝ ගැටලු සඳහා විසඳුම් ලබා ගත හැක. මෙවැනි ගැටළු සඳහා ලිහිසි ද්රව්ය, යෝනි මාර්ගය තෙතමනය කරන ආලේපන, සුදුසු වෛද්ය ප්රතිකාර සහ සෞඛ්ය සේවා සපයන්නෙකුගේ සහය ලබා ගැනීම ඔබට උපකාරී විය හැක.
8. සෞඛ්ය සේවා සපයන්නෙකු සමඟ සාකච්ඡා කළ යුත්තේ කවදාද?
රෝග ලක්ෂණ ඔබගේ ජීවන තත්ත්වයට, නින්දට, සබඳතාවලට හෝ ලිංගික සුවතාවයට බලපෑම් කරන්නේ නම් වෘත්තීයමය උපදෙස් ලබා ගැනීමට යොමු විය යුතුය.
විශේෂයෙන්ම, ආර්තවහරණයෙන් පසුව සිදුවන හදිසි රුධිර වහනය වීම්, සාමාන්ය ආර්තවහරණ රෝග ලක්ෂණයක් ලෙස නොසලා සෞඛ්ය සේවා සපයන්නෙකු ලවා පරීක්ෂා කර ගත යුතුය.
ශ්රී ලංකා පවුල් සංවිධාන සංගමය (FPA Sri Lanka) පිළිබඳව
ශ්රී ලංකා පවුල් සංවිධාන සංගමය මගින් ලිංගික හා ප්රජනන සෞඛ්යය මෙන්ම යහපැවැත්ම පිළිබඳ තොරතුරු සහ සේවාවන් සපයනු ලබයි. ශ්රී ලංකා පවුල් සංවිධාන සංගමයේ බ්ලූම් මධ්යස්ථානය (Bloom by FPA Sri Lanka) හරහා ආර්තවහරණය ආශ්රිත ගැටලු ඇතුළුව ලිංගික හා ප්රජනන සෞඛ්යයට අදාළ විවිධ ගැටලු සඳහා ඕනෑම පුද්ගලයෙක්ට විශ්වාසනීය මෙන්ම රහස්යභාවය සුරකින වෘතිතීය මට්ටමේ සහය ලබා ගත හැක.
ඔබගේ සහ ලබාදෙන තොරතුරුවල රහස්යභාවය සහයක් අවශ්යද? 077 955 2979 අංකය හරහා ශ්රී ලංකා පවුල් සංවිධාන සංගමයේ බ්ලූම් මධ්යස්ථානය සම්බන්ධ කර ගන්න
වෛද්ය උපදෙස්: මෙම ලිපිය ඔබගේ සෞඛ්ය පිලිබඳ සාමාන්ය දැනුවත්භාවය උදෙසා පමණක් ඉදිරිපත් කර ඇති අතර සුදුසුකම් ලත් සෞඛ්ය සේවා වෘත්තිකයෙකු හමුවී ලබා ගන්නා වෛද්ය උපදෙසකට මෙය ආදේශකයක් නොවන බව මතක තබාගත යුතුය. එමෙන්ම, ආර්තවහරණයේ රෝග ලක්ෂණ සහ විකල්ප ප්රතිකාර ක්රම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.