වයස, ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගික දිශානතිය කුමක් වුවත් ඕනෑම සම්බන්ධතාවයක උස් පහත්වීම්, වෙනස්වීම් මගහරවා ගැනීම තරමක් අපහසු විය හැකිය. විශේෂයෙන් සමීප ප්‍රේම සබඳතා බිඳවැටීමකදී මෙම තත්වය වඩාත් තදින් බලපායි. බිඳවැටීම් යන්න සම්බන්ධතාවයක ස්වාභාවික ගමන් මගෙහි එක්තරා කොටසක් විය හැකි නමුත් එවැනි බිඳවැටීමකින් පසුව ජිවිතයේ ඉදිරියට යාම අපහසු විය හැකිය. මෙම තත්වය පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍යයට පමණක් නොව ඔහුගේ/ඇයගේ ශාරීරික සෞඛ්‍යයට ද බලපෑම් ඇති කරයි. සබඳතා බිඳවැටීම තුළ කෝපය, දුක, ප්‍රතික්ෂේප වීම සහ බලාපොරොත්තු සුන්වීම ඇතුළු විවිධ හැඟීම් සමුදායක් ඇතිකළ හැකිය. මෙවැනි තත්වයකදී ඇතිවන හැඟීම් පිළිගැනීම සහ සම්බන්ධතාවය අහිමි වීම පිළිබඳව දුක් වීම සඳහා යම්කිසි කාලයක් ලබාදීම අතිශය වැදගත් වේ.
ඔබගේ මානසික සෞඛ ආරක්ෂා කර ගැනීමටත් හැඟීම් සහ ශෝකය සාර්ථකව හසුරුවා ගැනීමටත් උපකාරී වන උපාය මාර්ග කිහිපයක් තිබේ. එනම්,
සබඳතාවය බිඳවැටීම පිළිබඳව කතා කිරීම, ඒ ගැන හඬා වැටීම පවා පුද්ගලයෙකුට ධනාත්මක බලපෑමක් ඇති කරන හැඟීම් මුදා හැරීමේ, පිට කිරීමේ ආකාරයක් විය හැකිය. එසේම, මෙම තත්වයෙන් මිදී ඉදිරියට යාම සඳහා ඔබට සහයෝගය ලබාදෙන, උපකාර කරන මිතුරන්, පවුලේ අය සමග සහයෝගී පරිසරයක් පැවතීම අත්‍යවශ්‍ය වේ. ඔබගේ හුදෙකලා බව අවම කිරීමට, දුක පිළිබඳ හැඟීම් අඩු කිරීමට, ඔබට සැනසීමක් ලබාදීමට සහ ඔබව නගා සිටුවීමට ඔවුන්ට හැකියාව පවතියි.
චිකිත්සකයෙකු හෝ උපදේශකයෙකු සමඟ කතා කිරීම හරහා ඔබගේ සමීපතමයෙකු සමග කතා කිරීමෙන් ඇතිවන ලැජ්ජාව බිය හෝ ඔබව විනිශ්චය කිරීම වැනි තත්වයන් මගහරවා ගනිමින් සබඳතා බිඳවැටීම පිලිබඳව ඔබගේ සංකීර්ණ හැඟීම් ප්‍රකාශ කිරීමේ හැකියාව පවතියි. එසේම, මින් ඉදිරියට ගමන් කිරීමේ උපාය මාර්ග සහ ඔබේ ආත්ම අභිමානය සහ වටිනාකම යළි ගොඩනඟමින් ඉදිරියට යාමට සැලැස්මක් සකස් කිරීමට ඔවුන් ඔබට උපකාර කළ හැකිය.
ස්වයං රැකවරණය සහ සෞඛ්‍ය සම්පන්න දින චර්යාව කෙරෙහි අවධානය යොමු කිරීම ඔබේ මානසික සෞඛ්‍ය පමණක් නොව ඔබේ ශාරීරික සෞඛ්‍ය ද වැඩිදියුණු කරයි. සෞඛ්‍ය සම්පන්න දින චර්යාවක් සඳහා,
දිනපතා පැය 7ත් 9ත් අතර නින්ද.
සමබර අහාර වේලක් ලබාගැනීම. මෙහිදී අඩුවෙන් පිරිපහදු කළ සිනි සහ මේදය අඩු ආහාර ලබාගැනීම සුදුසු වේ.
ඇවිදීම, දිවීම ඇතුළු දිනපතා ව්‍යායාම කිරීම හෝ යෝගා වැනි කණ්ඩායම් ව්‍යායාම පන්තිවලට සහභාගී වීම.
ජර්නල් ලිවිම.
හුස්ම ගැනීමේ ව්‍යායාම හෝ භාවනා කිරීම.
වෙන්විමකින් පසුව ඔබගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට තවත් වැදගත් ක්‍රමයක් වන්නේ ඔබේ පෙර සහකරු සමඟ සීමාවන් සකසා ගැනීමයි. ඔබගේ වෙන්වීම වඩාත් මිත්‍රශීලි එකක් නොවුයේ නම් මෙය ඉතාමත් වැදගත් කරුණක් වශයෙන් හඳුන්වා දිය හැකිය. මෙසේ සිමාවන් සකසා ගැනීමේදී ඔබගේ පෙර සහකරු සමග පවත්වන ලද සියලුම ආකාරයේ භෞතික හා මාර්ගගත සන්නිවේදනවලින් ඉවත්වීම වැදගත් වේ. මෙම තාවකාලික දුරස්ථභාවය ඔබගේ ඉදිරි ගමන වැළක්විය හැකි සියලුම හැඟීම් හා ඕනෑම චිත්තවේගීය බලපෑමක් මැඩ පවත්වයි.
තවද, සමීප සබඳතා බිඳවැටීමෙන් පසු ඔබේ ලිංගික සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීමට මතක තබා ගැනීම අතිශය වැදගත් වේ. මන්ද, වෙන්විමකින් පසු නව සබඳතාවයක් ඇතිකරගැනීම, අලුත් පුද්ගලයෙක් වෙත ලංවිම හරහා සැනසීමක් ලබාගැනීමට සිතීම හෝ නව සම්බන්ධතාවයක වලංගුභාවය සෙවීම සඳහා ඇතැම්විට එය පෙළඹවීමක් විය හැකි බැවිනි. කෙසේ නමුත්, සැලසුම් නොකළ ගැබ් ගැනීම් වළක්වා ගැනීමට පමණක් නොව, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වළක්වා ගැනීම සඳහා කොන්ඩම් වැනි උපත් පාලන ක්‍රමයක් භාවිතා කිරීමෙන් ඔබගේ ලිංගික ආරක්ෂාව තහවුරු කරගත හැකිය. ඔබ පෙර සම්බන්ධතාවයේදී සක්‍රිය ලිංගික සබඳතා පවත්වා ඇත්නම් නව සම්බන්ධතාවයකට යාමට පෙර ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන පිළිබඳව පරීක්ෂා කිරීම අවශ්‍ය විය හැකිය. මේ සඳහා සුදුසු වෛද්‍යවරයකු හෝ සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකු හමුවීමෙන් ඔබට ඔබගේ අවදානම තේරුම් ගැනීමට සහ අවශ්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට උපකාර කළ හැකිය.
අවසාන වශයෙන් සබඳතා බිඳවැටීම සංකීර්ණ විය හැකි අතර මෙවැනි තත්වයකදී ඔබ ඉවසිලිවන්තව විය යුතු අතර ඔබ ඔබ වෙනුවෙන් කරුණාවන්ත විය යුතුය. එසේම ඔබගේ මානසික සහ ලිංගික සෞඛ්‍ය ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය අවස්ථාවකදී උපකාර ලබාගැනීමද අතිශය වැදගත් වේ. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ පවුල් සෞඛ්‍ය සඳහා වූ මධ්‍යස්ථානය සහ ආලෝකය උපදේශන සේවය ඇමතීමෙන් ඔබට මනෝවිද්‍යාත්මක උපදේශන සහ වෛද්‍ය සහාය ලබාගත හැකිය. අදාළ සේවාවන් 0112 555 455 දුරකථන අංකය හරහා පවුල් සෞඛ්‍ය සඳහා වූ මධ්‍යස්ථානය සහ ආලෝකා උපදේශන සේවය සම්බන්ධ කරගැනීමෙන් හෝ අංක 37/27, බුලර්ස් පටුමග, කොළඹ-07 යන ස්ථානයේ පිහිටි මධ්‍යස්ථානය වෙත පැමිණ ලබාගත හැකිය.