ඔසප් රුධිරය අධික ලෙස පිටවීම: ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු | The Family Planning Association of Sri Lanka

ඔසප් රුධිරය අධික ලෙස පිටවීම: ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු

අධික ලෙස ඔසප් රුධිරය පිටවීම යනු කුමක්ද?

අධික ලෙස ඔසප් රුධිරය පිටවීම යනු ඔබේ ඔසප් වීම සාමාන්‍යයෙන් පවතින කාලයට වඩා වඩා වැඩි කාලයක් පැවතීම හෝ අධිකව රුධිරය වහනය වීමයි. එහි ලක්ෂණ අතර:

  • දින 7කට වඩා වැඩි කාලයක් නොනවත්වා ඔසප් රුධිරය වහනය වීම.

  • නිතර නිතර සනීපාරක්ෂක තුවා (pads) හෝ ටැම්පොන් (tampons) මාරු කිරීමට සිදු වීම.

  • විශාල රුධිර කැටිති වශයෙන් පිටවීම.

  • ඉතා වෙහෙසකර බවක්, දුර්වල බවක් හෝ කරකැවිල්ලක් දැනීම.


මෙසේ අධික ලෙස රුධිරය වහනය වීම සාමාන්‍යයෙන් පොදුවේ පවතින තත්වයක් වන අතර එය බොහෝ විට ප්‍රතිකාර කළ හැකි තත්වයකි.

අධික ලෙස රුධිරය වහනය වීමට හේතු මොනවාද?

අධික ලෙස රුධිරය වහනය වීම විවිධ හේතු නිසා සිදුවිය හැකිය ඒ අතර:

  • හෝමෝන අසමතුලිතතාවය

  • ගර්භාෂයේ ඇති වන ෆයිබ්‍රොයිඩ් (Fibroids) හෝ පොලිප්ස් (Polyps) වැනි තත්වයන්

  • රුධිරය කැටි ගැසීමේ ආබාධ තත්වයන්

  • කලාතුරකින්, එන්ඩොමෙට්‍රියෝසිස් (Endometriosis) වැනි තත්වයන්ද දැකිය හැකිය


වෘත්තීය මට්ටමේ සෞඛ්‍ය සේවා සපයන්නෙකුට මේ සඳහා නිශ්චිත හේතු සෙවීමට සහ විසඳුම් යෝජනා කිරීමට ඔබට උපකාර කළ හැකිය.

අධික ලෙස ඔසප් රුධිරය පිටවීම සාමාන්‍ය තත්වයක්ද?

ඔසප්වීමකදී රුධිරය පිටවීමේ ප්‍රමාණයේ යම් යම් වෙනස්කම් සාමාන්‍ය වුවද ඔබේ එදිනෙදා ජීවිතයට බාධා පමුණුවන ආකාරයෙන් සිදුවේ නම් එම තත්වය ඔබ නිහඬව විඳදරාගත යුතු නැත. රුධිර වහනය ඉතා අධික, දිගු කාලයක් පැවතීම හෝ වේදනාකාරී නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අතිශය වැදගත් වේ.

අධික ලෙස ඔසප් රුධිරය පිටවීම ඔබේ සෞඛ්‍යයට බලපාන්නේ කෙසේද?

අධික ලෙස රුධිරය පිටවීම පහත සඳහන් තත්වයන්ට මඟ පෑදිය හැක:

  • තෙහෙට්ටුව හෝ දුර්වල බව

  • යකඩ ඌනතාවය හෝ රක්තහීනතාවය

  • පාසල්, රැකියා හෝ එදිනෙදා කටයුතු මඟ හැරීම

  • මානසික පීඩනය


මෙම තත්වය පාලනය කිරීම මඟින් ශාරීරික මෙන්ම මානසික සුවතාවයද වැඩි දියුණු කරගත හැක.

අධික ලෙස රුධිරය වහනය සඳහා ප්‍රතිකාර සිදු කරන්නේ කෙසේද?

ප්‍රතිකාර ක්‍රමය රඳා පවතින්නේ රෝගයට පාදක වන හේතුව මතය. ඒ සඳහා පහත තත්වයන් ඇතුළත් විය හැකිය:

  • රුධිර වහනය අඩු කිරීමට හෝ හෝමෝන පාලනය කිරීමට ඖෂධ ලබාදීම.

  • රක්තහීනතාවය ඇති වුවහොත් යකඩ අතිරේක ලබා දීම

  • ෆයිබ්‍රොයිඩ් හෝ පොලිප්ස් ඉවත් කිරීමේ සැත්කම් සිදු කිරීම

  • රෝග ලක්ෂණ කළමනාකරණය කිරීම සඳහා ජීවන රටාව සහ ස්වයං රැකවරණ උපාය මාර්ග


මුල් අවධියේදී පරීක්ෂා කර ගැනීමෙන් සංකූලතා වළක්වා ගැනීමට සහ ජීවන තත්ත්වය වැඩි දියුණු කර ගැනීමට හැකි වේ.

ඔබ වෛද්‍යවරයෙකු හමුවිය යුත්තේ කවදාද?

ඔසප් වීමේදී පහත ලක්ෂණ ඇත්නම් වෛද්‍ය උපකාර පතන්න:

  • ඔසප් කාලය දින 7කට වඩා වැඩි කාලයක් පැවතීම

  • සෑම පැය 1කට හෝ 2කට වරක් සනීපාරක්ෂක තුවා හෝ වෙනත් සනීපාරක්ෂක ද්‍රවය මාරු කිරීමට සිදු වීම

  • අධික තෙහෙට්ටුව හෝ කරකැවිල්ල ඇතිවීම

  • පාසල් යාම , රැකියාවට යාම හෝ එදිනෙදා වෙනත් කාටයුතු කරගැනීමට ඇති බාධා ඇති වීම.


මතක තබා ගන්න: අධික ලෙස රුධිරය වහනය වීම ඔබ "නිහඬව විඳදරාගත යුතු" තත්වයක් නොවේ. ඔබට ඒ සඳහා උපකාර ලබා ගත හැකිය.

 

Author

The Family Planning Association of Sri Lanka

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2026 | Family Planning Association All Rights Reserved
As Imagined By