ප්‍රශ්නය: උපත් පාලන පෙති නිසි පරිදි ලබා ගැනීමට අමතක වුවහොත් කළ යුත්තේ කුමක්ද?
පිළිතුර: ඔබට නිසි පරිදි මාත්‍රාව ලබා ගැනීමට මඟහැරුණහොත් ඉන්පසුව කළ යුතු දේ තීරණය වන්නේ ඔබට පෙති කීයක් මඟහැරී ඇත්ද සහ ඒ පිළිබඳව ඔබට මතක් වූයේ කවදාද යන්න මතය. බොහෝ අවස්ථාවලදී මතක් වූ වහාම මඟහැරුණු පෙත්ත ලබා ගත යුතු අතර, ඊළඟ පෙත්ත සාමාන්‍යයෙන් ගන්නා වේලාවටම ලබා ගත යුතුය. පෙති එකකට වඩා මඟහැරී ඇත්නම් පෙති ඇසුරුම සමඟ ලබා දී ඇති උපදෙස් පත්‍රිකාව අනුගමනය කරන්න නැතහොත් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
ඔබට ඕනෑම ගැටලුවකදී ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ 'බ්ලූම්' උපකාරක සේවාව අමතන්න: 077 955 2979
ප්‍රශ්නය: මාත්‍රාවක් මඟහැරුණු විට මට අමතර ආරක්ෂිත ක්‍රමවේදයක් භාවිත කිරීමට අවශ්‍යද?
පිළිතුර: ඔව්, සමහර අවස්ථාවලදී අවශ්‍ය වේ. ඔබට පෙති ගැනීමට මඟහැරුණහොත් හෝ උපත් පාලන එන්නතක් ලබා ගැනීමට නියමිත කාලයට වඩා ප්‍රමාද වුවහොත් හෝ අඛණ්ඩ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා කෙටි කාලසීමාවකට කොන්ඩම් වැනි අමතර උපත් පාලන ක්‍රමයක් භාවිත කිරීමට සිදු විය හැක.
ප්‍රශ්නය: මට උපත් පාලන එන්නත ලබා ගැනීමට මඟහැරුණහොත් කුමක් කළ යුතුද?
පිළිතුර: ඔබ උපත් පාලන එන්නත ලබා ගත යුතු නිර්දේශිත කාල සීමාව ඉක්මවා ප්‍රමාද වී ඇත්නම්, හැකි ඉක්මනින් සෞඛ්‍ය සේවා සපයන්නෙකු සම්බන්ධ කර ගන්න. ඔබට තවමත් එය ලබා ගැනීමට අවස්ථාව තිබිය හැකි නමුත් ප්‍රමාද වූ කාලය මත පදනම්ව ඔබට අමතර ආරක්ෂිත ක්‍රමවේදයක් භාවිත කිරීමට සිදු විය හැක.
ඔබට ඕනෑම ගැටලුවකදී ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ 'බ්ලූම්' උපකාරක සේවාව අමතන්න: 077 955 2979
ප්‍රශ්නය: මට එක් මාත්‍රාවක් මඟහැරුණු අතර එම කාලය තුළ අනාරක්ෂිත ලිංගික එක්වීමක්ද සිදු විය. මා කළ යුත්තේ කුමක්ද?
පිළිතුර: මෙවැනි අවස්ථාවක ගත වූ කාලය සලකා බලා 'පොස්ටිනෝර්' (Postinor) වැනි හදිසි උපත් පාලන ක්‍රමයක් විකල්පයක් ලෙස භාවිත කළ හැක. ඔබට අවශ්‍ය විකල්ප ක්‍රම පිළිබඳව නිවැරදිව වටහා ගැනීම සඳහා හැකි ඉක්මනින් සෞඛ්‍ය සේවා සපයන්නෙකුගෙන් උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.
වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: https://www.fpasrilanka.org/en/emergency-contraceptives
ප්‍රශ්නය: මාත්‍රාවක් මඟහැරුණු විට මා භාවිත කරන උපත් පාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම නතර කළ යුතුද?
පිළිතුර: නැත. නිසි වෛද්‍ය උපදෙස් නොමැතිව ඔබ භාවිත කරන ක්‍රමය නතර නොකළ යුතුය. මන්ද, උපත් පාලන ක්‍රමයක් හදිසියේ නතර කිරීමෙන් ලැබෙන ආරක්ෂාව අඩු විය හැක. ඒ වෙනුවට, ඔබ දැනට ලබාගන්නා ක්‍රමවේදය අනුගමනය කරන අතරතුර ඒ පිළිබඳව කිසියම් අවිශ්වාසයක් පවතින්නේ නම් අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසු ක්‍රමවේදය වේ.
ප්‍රශ්නය: මා වෛද්‍ය උපදෙස් ලබාගත යුත්තේ කුමන අවස්ථාවලදීද?
පිළිතුර: පහත සඳහන් අවස්ථාවලදී ඔබ සෞඛ්‍ය සේවා සපයන්නෙකු සම්බන්ධ කර ගත යුතුය.
මාත්‍රාවක් මඟහැරීමෙන් පසු කළ යුතු දේ පිළිබඳව ඔබට නිශ්චිත වැටහීමක් නොමැති නම්
ඔබට පෙති හෝ මාත්‍රාවන් කිහිපයක් මඟහැරී ඇත්නම්
ඔබට අසාමාන්‍ය අතුරු ආබාධ හෝ රෝග ලක්ෂණ මතු වන්නේ නම්
ගැබ්ගැනීමේ අවදානම පිළිබඳව ඔබ තුළ සැකයක් හෝ බියක් පවතී නම්
ඔබට ඕනෑම ගැටලුවකදී ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ 'බ්ලූම්' (Bloom) උපකාරක සේවාව අමතන්න: 077 955 2979
ප්‍රශ්නය: ඉදිරියේදී මාත්‍රාවන් මඟහැරීම වළක්වා ගන්නේ කෙසේද?
පිළිතුර: එය ඔබගේ දෛනික දින චර්යාවක අංගයක් සමඟ සම්බන්ධ කරගැනීම වැදගත්වේ. එසේම, දිගුකාලීන උපත් පාලන ක්‍රමයක් එනම්, සමට යටින් තැන්පත් කරන උපකරණ හෝ ගර්භාෂය තුළ තැන්පත් කරන උපකරණයක් තෝරා ගැනීම මඟින් මාත්‍රාවන් මඟහැරීමේ සම්භාවිතාව අඩු කර ගත හැක.
ප්‍රශ්නය: මතක තබා ගත යුතු වැදගත්ම කරුණ කුමක්ද?
පිළිතුර: මාත්‍රාවක් මඟහැරීම සාමාන්‍යයෙන් සිදු විය හැකි නමුත් පාලනය කළ හැකි තත්ත්වයකි. මෙහිදී වඩාත්ම වැදගත් කරුණ වන්නේ අනියත බියක් ඇති කර නොගෙන ඉක්මනින් ක්‍රියාත්මක වීම සහ අවිනිශ්චිත අවස්ථාවලදී නිසි වෛද්‍ය මඟපෙන්වීම් ලබා ගැනීමයි.