ප්රශ්නය: රෝග ලක්ෂණ කිසිවක් නොමැතිව ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වැළඳීමට ඉඩකඩ පවතීද?
පිළිතුර: ඔව්. විශේෂයෙන්ම මුල් අවධියේදී කිසිදු බාහිර ලක්ෂණයක් නොපෙන්වා ශරීරය තුළ පැවතීමට ලිංගිකව සම්ප්‍රේෂණය වන බොහෝ ආසාදනවලට හැකියාව ඇත.
ප්රශ්නය: රෝග ලක්ෂණ නොපෙන්වන ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන මොනවාද?
පිළිතුර: මේ සඳහා පොදු උදාහරණ කිහිපයක් පහත දැක්වේ:
ක්ලැමීඩියා (Chlamydia)
ගොනෝරියා (Gonorrhoea)
එච්.අයි.වී (HIV - මුල් අවධිය)
හියුමන් පැපිලෝමා වයිරසය (HPV)
ප්රශ්නය: රෝග ලක්ෂණ නොමැති වුවද, එම තත්ත්වය අනතුරුදායකද?
පිළිතුර: ඔව්. රෝග ලක්ෂණ නොමැති වුවත් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන සඳහා නිසි ප්‍රතිකාර නොගැනීම හේතුවෙන් පහත සඳහන් සංකූලතා ඇති විය හැකිය.
මදසරුභාවය (දරුවන් නොමැති වීම)
නිදන්ගත රෝග නිසා ඇතිවන වේදනාවන්
ගර්භණී සමයේ ඇති වන සංකූලතා
එච්.අයි.වී (HIV) සම්ප්‍රේෂණය වීමේ අවදානම ඉහළ යාම
ප්රශ්නය: එසේ නම්, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් මට වැළඳී ඇත්දැයි දැන ගන්නේ කෙසේද?
පිළිතුර: ඒ සඳහා ඇති එකම විශ්වාසදායක ක්‍රමය වන්නේ සුදුසුකම් ලත් සෞඛ්‍ය මධ්‍යස්ථානයකින් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන පිළිබඳ වෛද්‍ය පරීක්ෂණයකට (STI testing) භාජනය වීම පමණි.
වෛද්‍ය පරීක්ෂණයක් සඳහා වේලාවක් වෙන්කරවා ගැනීමට අප අමතන්න: 077 955 2979
ප්රශ්නය: මා කොපමණ වාරයක් පරීක්ෂණවලට භාජනය විය යුතුද?
පිළිතුර: එය ඔබගේ ලිංගික ක්‍රියාකාරකම්වල ස්වභාවය මත රඳා පවතින අතර පහත අවස්ථාවලදී පරීක්ෂණ සිදු කරගැනීම ඉතා වැදගත් වේ.
අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පසුව
අලුත් සබඳතාවක් ආරම්භ කිරීමේදී
ඔබට ලිංගික සබඳතා පවත්වන සහකරුවන් කිහිපදෙනෙකු සිටී නම් නිරන්තරයෙන් පරීක්ෂණය සිදුකරගැනීම වැදගත් වේ.
ප්රශ්නය: ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනවලදී සැමවිටම රෝග ලක්ෂණ මතු නොවන්නේ ඇයි?
පිළිතුර: ඇතැම් ආසාදන ශරීරය තුළ වර්ධනය වන්නේ ඉතා සෙමිනි. එසේ නැතහොත් ඒවා මුලින්ම බලපාන්නේ අභ්‍යන්තර ඉන්ද්රියයන්වලටය . එබැවින් රෝගයේ වර්ධනීය අවධිය වන තුරු බාහිර රෝග ලක්ෂණ මතු නොවීමට ඉඩකඩ ඇත.
ප්රශ්නය: මතක තබා ගත යුතු වැදගත්ම කරුණ කුමක්ද?
පිළිතුර: "රෝග ලක්ෂණ නොමැති වීම යනු ආසාදනයක් නොමැති වීම නොවේ." ඒ පිළිබඳව ස්ථිරවම දැන ගැනීමටත්, ඔබගේ මෙන්ම ඔබගේ සහකරුගේ හෝ සහකාරියගේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමටත් ඇති එකම මාර්ගය නිවැරදි වෛද්‍ය පරීක්ෂණයක් සිදු කිරීම පමණි.