ලිංගික සතුට යනු සමීප සබඳතාවල සහ මානව අත්දැකීම්වලදී ඉතා වැදගත් කොටසක් වන නමුත් බොහෝ විට නොසලකා හරින ලද අංගයකි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර පුද්ගල කැමැත්ත ඇතිව ලිංගික සහකරුවකු සමඟ ලිංගික එක්විමකදී හෝ ස්වයං-ලිංගික ක්‍රියාකාරකම්වලදී (ස්වයං වින්දනය වැනි) එය අත්කර ගත හැකිය.
කැමැත්ත ඇතිව ලබන ලිංගික සතුට යනු ලිංගික සංසර්ගයේ ප්‍රතිඵලයක් පමණක් නොව, එය ආරක්ෂාව පිළිබඳ ප්‍රකාශනයක් ද වේ. එහිදී සන්නිවේදනය, සම්බන්ධතාවක් ගොඩනැගීම, ශාරීරික ස්පර්ශය, චිත්තවේගීය සමීපත්වය සහ මානසික යහපැවැත්ම ඇතුළත් වේ. ස්වයං-ලිංගික සතුට ද කෙනෙකුගේ ශරීරය හා මනස ගැන සෑහීමකට පත්වීමේ හැඟීම් ඇති කරයි. ලිංගික සතුට තමන් ලිංගිකව ප්‍රිය කරන දේ ඇතුළුව කෙනෙකුගේ ශරීරය පිළිබඳ අවබෝධය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර පුද්ගලයෙකුගේ ආදර සබඳතාවල ශක්තිමත්භාවයට සහ තිරසාරභාවය සඳහා දායක විය හැකිය. එබැවින් ලිංගික සතුට ආත්මාර්ථකාමී හෝ ලැජ්ජා සහගත අත්දැකීමක් ලෙස නොසිතිය යුතු අතර එය සන්නිවේදනය, කැමැත්ත සහ සැලකිල්ල මත වර්ධනය වන අත්දැකීමකි.
විද්‍යාත්මකව බැලීමේදී ලිංගික සතුටට හා ලිංගික සතුට වැඩි කිරීම පිලිබඳ ප්‍රමුඛ ශරීර ප්‍රදේශවල (ලිංගික උද්දීපන කලාප - erogenous zones) දක්නට ලැබෙන ස්නායු අග්‍ර සක්‍රීය කිරීම ඇතුළත් වේ. ලිංගික උද්දීපන කලාපවලට සාමාන්‍යයෙන් මුඛය, පියයුරු සහ ලිංගික ප්‍රදේශය ඇතුළත් වේ. මෙය අනෙක් අතට උද්දීපනය, තෘප්තිය සහ බැඳීම යන හැඟීම් සඳහා දායක වන හෝමෝනවල ප්‍රතිචාර ඇති කරයි. "ආදර හෝමෝනය" ලෙසද හැඳින්වෙන ඔක්සිටොසින් හෝමෝනය සමීප ස්පර්ශය සහ සුරතාන්තය (orgasm) අතරතුර මුදා හැරේ. මෙම හෝමෝනය සහකරුවන් අතර චිත්තවේගීය සමීපත්වය සහ විශ්වාසය වර්ධනය කිරීමටද දායක වේ. කෙසේ නමුත්, ස්වයං-ගෞරවය (self-esteem), ශරීර ප්‍රතිරූපය (body image), චිත්තවේගීය ආරක්ෂාව සහ ලිංගිකත්වය කෙරෙහි ඇති සංස්කෘතික ආකල්ප වැනි ඇතැම් මානසික සාධක මගින් ලිංගික සතුටට දැඩි ලෙස බලපෑම් ඇති කරයි.
නිරෝගී සබඳතාවයක ලිංගික සතුට පිලිබඳ වැදගත්කම සම්බන්ධව කෙතරම් කතාබහ කළද බොහෝ ප්‍රජාවන් අතර ඇති ප්‍රධාන අභියෝගවලින් එකක් වන්නේ ලිංගිකත්වය සහ ලිංගික සතුට පිළිබඳ සාකච්ඡා වටා ඇති බියයි. විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ මෙම තත්ත්වය දැකිය හැකිය. මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ පවතින සංස්කෘතික තහංචි, ගතානුගතික ආකල්ප, ආගමික බලපෑම්, ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ සම්මතයන් සහ පුළුල් ලිංගික අධ්‍යාපනයේ හිඟකමයි. මෙය කාන්තාවන්ට සහ ආන්තික ප්‍රජාවන්ට වැඩි වශයෙන් බලපාන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ට තම ලිංගික අවශ්‍යතා නිදහසේ ප්‍රකාශ කිරීමට නොහැකි වේ. තවද, මෙය වැරදි තොරතුරු, අතෘප්තිය සහ ලිංගික සෞඛ්‍ය සේවා ලබා ගැනීමට ඇති සීමාවන් දක්වා ද වර්ධනය වේ.
සම්බන්ධතාවයක ලිංගික සතුට නොසලකා හැරීම මානසික දුරස්ථභාවය, කලකිරීම සහ සමීපත්වය බිඳ වැටීමකට තුඩු දිය හැකිය. ලිංගිකත්වය යනු සම්බන්ධතාවක නිරෝගිභාවය මැනීමේ එකම මිනුම නොවන නමුත් ලිංගික සබඳතාවයන් නොපැවැත්වීම හෝ එයට ඇති නොහැකියාව බොහෝ විට ගැඹුරු ගැටලු සංඥා කරයි.
ලිංගික දුර්වලතාවලට ශිෂ්ණය ක්‍රියාත්මකවීමට ඇති නොහැකියාව සහ/හෝ ලිංගික එක්වීම අතරතුර උද්දීපනය පවත්වා ගැනීමට ඇති නොහැකියාව, ලිංගික ක්‍රියාව අතරතුර අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉක්මනින් ශුක්‍රාණු පිටවීම/සුරතාන්තය සිදු වීම සහ යෝනි මාර්ගය වටා ඇති මාංශ පේශිවල අසාමාන්‍ය හැකිලීම හේතුවෙන් ලිංගිකව එක්වීමට උත්සාහ කිරීමේදී වේදනාව ඇති වීම (යෝනි මාර්ගයේ මාංශපේශී සංකෝචනය - vaginismus) වැනි තත්වයන් ඇතුළත් විය හැකිය. මෙම තත්වයන් නිසා පුද්ගලයන්ට ලිංගික සතුට අත්කර ගැනීමට බාධා ඇති වන අතර නිසි ලෙස ප්‍රතිකාර නොකළහොත් සම්බන්ධතාවලට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය. ලිංගික දුර්වලතා සහ ගැටලු සඳහා විකල්ප ප්‍රතිකාර ක්‍රම වශයෙන් මනෝවිද්‍යාත්මක, වෛද්‍යමය සහ ඇතැම් විට ශල්‍යකර්ම කළමනාකරණය ඇතුළත් විය හැකි අතර එය විවිධත්වයක් ගනී.
ලිංගික සෞඛ්‍ය අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම, මේ පිලිබදව පවතින බිය නැතිකිරීම, ලිංගික සෞඛ්‍ය සේවා ලබා ගැනීමට ඇති හැකියාව වැඩි දියුණු කිරීම සහ සමබර සංවාද සඳහා ඉඩ සැලසීම, මිනිසුන්ට ආරක්ෂිතව සහ විශ්වාසයෙන් යුතුව ලිංගික සතුට අත්විඳීමට බල ගැන්වීම සඳහා අත්‍යවශ්‍ය පියවරයන් වේ. අන්‍යෝන්‍ය ගවේෂණය, චිත්තවේගීය සම්බන්ධතාවය සහ අවධානය තුළින් ලිංගික සතුටට ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස වැඩිහිටියන් දිරිමත් කිරීම සමස්ත සම්බන්ධතා තෘප්තිය වැඩි දියුණු කිරීමට, ආතතිය අඩු කිරීමට සහ මානසික යහපැවැත්ම වැඩි දියුණු කිරීමට දායක විය හැකිය.
ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට ලිංගික සතුට පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් හෝ ලිංගික සතුට අත්විඳීමට අපහසු නම්, කරුණාකර ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානය (Centre for Family Health at the Family Planning Association of Sri Lanka) අමතන්න. දුරකථන අංක 0112 555 455 076588441. අපගේ ලිපිනය 37/27, බුලර්ස් පටුමග, කොළඹ-07