ගැබ් ගැනීමට තීරණය කිරීම යනු පුද්ගලයෙකුගේ ජීවිතයේ ඉතාමත් පෞද්ගලික තේරීමකි. ඇතැම් අයට එය හොඳින් සැලසුම් කළ ගමනක් වන අතර තවත් සමහරුන්ට එය ගැටළු රැසකින් ආරම්භ වන අලුත් අත්දැකීමකි. ගැබ් ගැනීමක් සිදුවන්නේ කෙසේද, ඒ සඳහා ශරීරය වඩාත්ම සූදානම් වන්නේ කවදාද, සහ මේ සඳහා කෙනෙකුගේ සෞඛ්‍යය, වයස මෙන්ම ජීවන රටාව බලපාන්නේ කෙසේද යන්න නිවැරදිව වටහා ගැනීම ඔබට මේ පිළිබඳව විශ්වාසදායක සහ නිවැරදි තීරණ ගැනීමට බෙහෙවින් උපකාරී වේ.
මෙම ලිපිය මඟින් ගැබ් ගැනීම සම්බන්ධයෙන් පොදුවේ මතුවන ප්‍රධාන ගැටලු කිහිපයකට පිළිතුරු සපයනු ලබයි.
ගැබ් ගැනීමක් සිදුවන්නේ කෙසේද? – ඔබ දැනගත යුතු කරුණු
ගැබ් ගැනීමක් සිදු වන්නේ කෙසේද?
ගැබ් ගැනීමක් සිදු වන්නේ ශුක්‍රාණුවක් මඟින් ඩිම්බයක් සංසේචනය වී, එම සංසේචිත ඩිම්බය ගර්භාෂය තුළ තැන්පත් වීමෙනි. මෙය සාමාන්‍යයෙන් යෝනි මාර්ගික සංසර්ගය හරහා සිදු වන නමුත්, IVF (නල දරු උපත්) වැනි සහායක ප්‍රජනන ක්‍රමවේද හරහා ද ගැබ් ගැනීමක් සිදු විය හැකිය.
ස්වාභාවිකව ගැබ් ගැනීමක් සිදු වීම සඳහා:
ගර්භාෂයක් සහිත පුද්ගලයාගේ ශරීරයෙන් ඩිම්බ මෝචනයක් (ඩිම්බයක් මුදා හැරීමක්) සිදු විය යුතුය.
ප්‍රජනක පද්ධතිය තුළ ශුක්‍රාණු තිබිය යුතුය.
අදාළ සරු කාලය තුළදී සංසේචනය සිදු විය යුතුය.
ගැබ් ගැනීමට වඩාත්ම සුදුසු කාලය?
ගැබ් ගැනීමට වැඩිම ඉඩකඩක් පවතින්නේ සරු කාලය තුළදීය. එනම්,
ඩිම්බ මෝචනය වන දිනය
ඩිම්බ මෝචනය වීමට පෙර පවතින දින 4-5 ක කාලය
ඩිම්බ මෝචනය සාමාන්‍යයෙන් සිදු වන්නේ ඊළඟ ඔසප් චක්‍රය ආරම්භ වීමට දින 14 කට පමණ පෙර වුවද මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකිය. ඔසප් චක්‍රය පිළිබඳව විමසිල්ලෙන් සිටීම හෝ ඩිම්බ මෝචනය පුරෝකථනය කරන කට්ටල භාවිතා කිරීම මඟින් සරු දින හඳුනා ගැනීමට උපකාරී වේ.
ගැබ් ගැනීම සඳහා නිශ්චිත වයසක් තිබේද?
ජීව විද්‍යාත්මකව බැලීමේදී සරු භාවය සාමාන්‍ය උපරිම මට්ටමක පවතින්නේ,
වයස අවුරුදු 10 ගණන්වල අගභාගයේ සිට 20 ගණන්වල අගභාගය දක්වා කාලය තුළදීය.
වයස අවුරුදු 30 න් පසු සාරවත්භාවය ක්‍රමයෙන් අඩු වන අතර අවුරුදු 35 න් පසු එය වඩාත් කැපී පෙනෙන ලෙස පහත වැටේ.
කෙසේ වෙතත්, වයස යනු එක් සාධකයක් පමණක් වන අතර නිසි වෛද්‍ය රැකවරණය සහිතව අවුරුදු 30 සහ 40 වයස් සීමාවල පසුවන බොහෝ දෙනෙකුට නිරෝගී ගැබ් ගැනීම් සිදු වේ. මානසික සූදානම, මූල්‍ය ස්ථාවරත්වය, තමන්ට සහයෝගී වටපිටාවක් පැවතීම සහ සෞඛ්‍ය සේවා සඳහා ඇති ප්‍රවේශය ද ඒ හා සමානවම වැදගත් වේ.
ගැබ් ගැනීමක් සැලසුම් කිරීමට වඩාත්ම සුදුසු පසුබිම කුමක්ද?
සැමටම පොදු වූ නිශ්චිත පසුබිමක් නොමැති වුවද, සහයෝගී වටපිටාවකට සාමාන්‍යයෙන් පහත දෑ ඇතුළත් වේ:
ශාරීරික හා මානසික සුවතාවය
ආරක්ෂිත සහ ස්ථාවර ජීවන පරිසරයක්
සෞඛ්‍ය සේවා සහ ප්‍රසව සායන සේවාවන් සඳහා ඇති ප්‍රවේශය
සහකරු, පවුල හෝ සමාජය වෙතින් ලැබෙන මානසික සහයෝගය
හැකි සෑම අවස්ථාවකම සැලසුම්කරණයෙන් යුතු මූල්‍ය පරිහරණය
වඩාත්ම වැදගත් කරුණ වන්නේ, පුද්ගලයන් වයස, සහකරු, පවුල හෝ සමාජයේ බලපෑම නිසා නොව, තමන් තුළින්ම ඒ සඳහා සූදානම් සහ කැමැත්තෙන් සිටිය යුතු වීමයි.
ගැබ් ගැනීමට උත්සාහ කිරීමට පෙර සිදු කළ යුතු සෞඛ්‍ය පරීක්ෂණ මොනවාද?
ගර්භණීභාවයට පූර්ව සත්කාර මඟින් වඩාත් නිරෝගී ගැබ් ගැනීමක් තහවුරු කිරීමට උපකාරී වේ. ඊට පහත දෑ ඇතුළත් විය හැකිය,
සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණ පවතින රෝගී තත්ත්වයන් (උදා: දියවැඩියාව, තයිරොයිඩ් ගැටලු) සමාලෝචනය කිරීම
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STI) සඳහා වන පරික්ෂණ
එන්නත්කරණ තත්ත්වයන් පරීක්ෂා කිරීම
ගැබ් ගැනීමට අවම වශයෙන් මාසයකට පෙර සිට ෆෝලික් අම්ලය (දිනකට මයික්‍රෝග්‍රෑම් 400 බැගින්) ලබා ගැනීම ආරම්භ කිරීම
මේ සඳහා සෞඛ්‍ය සේවා සපයන්නෙකුට ඔබට ගැලපෙන උපදෙස් ලබා දිය හැකිය.
දිනයක් වෙන් කරවා ගැනීම සඳහා 077 955 2979 දුරකථන අංකයෙන් ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය (FPA Sri Lanka) සම්බන්ධ කරගන්න. අන්තර්ජාලය ඔස්සේ උපදෙස් ලබා ගැනීමට කරුණාකර 076 588 4881 අංකයට අමතන්න හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
ජීවන රටාවේ තේරීම් ගැබ් ගැනීමේ සම්භාවිතාවට බලපානවාද?
ඔව්. සාරවත්භාවය කෙරෙහි පහත දෑ බලපෑ හැකිය,
නිරෝගී බරක් පවත්වා ගැනීම
සමබල ආහාර වේලක් ගැනීම
නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීම
දුම්පානය, මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටීම
මානසික ආතතිය පාලනය කිරීම සහ ප්‍රමාණවත් නින්දක් ලැබීම
ගැබ් ගැනීමට උත්සාහ කිරීමේදී දෙදෙනාගේම ජීවන රටාව වැදගත් වේ.
ගැබ් ගැනීම සඳහා යුවළක් කොපමණ වාරයක් ලිංගිකව එක්විය යුතුද?
සරු කාලය තුළ දින එකක් හෝ දෙකක් ලිංගිකව එක්වීම මඟින් ගැබ් ගැනීමේ අවස්ථාව උපරිම වේ. දිනපතා ලිංගිකව එක්වීම අත්‍යවශ්‍ය නොවන අතර, එසේ කිරීමේ බලපෑම නිසා මානසික ආතතිය වැඩි විය හැකිය. ලිංගිකව එක්වන වාර ගණනට වඩා එහි පවතින අඛණ්ඩතාව සහ පහසුව වඩාත් වැදගත් වේ.
ගැබ් ගැනීම සඳහා සාමාන්‍යයෙන් කොපමණ කාලයක් ගතවේද?
නිරෝගී යුවළක් සඳහා,
වසරක් ඇතුළත 80-85% කට පමණ දරු ගැබ් ගැනීම් සිදු වේ.
ඊට වඩා වැඩි කාලයක් ගත විය හැකි අතර, එය සාමාන්‍ය තත්ත්වයකි.
පහත අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම නිර්දේශ කෙරේ,
වයස අවුරුදු 35 ට අඩු සහ මාස 12 කට පසුවත් ගැබ්ගෙන නොමැති නම්.
වයස අවුරුදු 35 ට වැඩි සහ මාස 6 කට පසුවත් ගැබ්ගෙන නොමැති නම්.
මානසික ආතතිය හෝ මානසික සෞඛ්‍යය සාරවත්භාවයට බලපෑ හැකිද?
අධික මානසික ආතතිය හෝමෝන, ඩිම්බ මෝචනය සහ ලිංගික සෞඛ්‍යයට බලපෑ හැකිය. මානසික සුවතාවය යනු ප්‍රජනක සෞඛ්‍යයේ වැදගත් කොටසකි. ගැබ් ගැනීමක් සැලසුම් කිරීමේදී සහයෝගය පැතීම, උපදෙස් ලබා ගැනීම හෝ ආතති කළමනාකරණ උපාය මාර්ග භාවිතය ප්‍රයෝජනවත් විය හැකිය.
සැලසුම් කළ පරිදි ගැබ් ගැනීමක් සිදු නොවුවහොත් කුමක් කළ යුතුද?
ගැබ් ගැනීමට අපහසු වීම සාමාන්‍ය දෙයක් වන අතර ඒ පිළිබඳව ලැජ්ජාවට පත්විය යුතු නැත. සරුභාවය සඳහා වන සහය විකල්පයන්ට පහත දෑ ඇතුළත් වේ,
වෛද්‍යමය ඇගයීම් (Medical evaluation)
සාරවත්භාවය සඳහා වන ප්‍රතිකාර
සහය ප්‍රජනන තාක්ෂණයන් (Assisted reproductive technologies)
උපදෙස් දීම (Counselling) සහ සම වයස් කණ්ඩායම්වල සහයෝගය
සෑම පුද්ගලයෙකුගේම ගමන එකිනෙකට වෙනස් වන අතර ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට අත්‍යවශ්‍ය වේ.
සරු භාවය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු හමුවීම සඳහා දිනයක් වෙන් කරවා ගැනීමට 077 955 2979 දුරකථන අංකයෙන් ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය (FPA Sri Lanka) සම්බන්ධ කරගන්න. අන්තර්ජාලය ඔස්සේ උපදෙස් ලබා ගැනීමට කරුණාකර 076 588 4881 අංකයට අමතන්න හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න.