යෝනි විවරය අවට ප්‍රදේශයේ සෞඛ්‍යය පවත්වාගැනීම - පිළිකා සහ ආසාදනවල මූලික ලක්ෂණ හඳුනා ගැනීම. | The Family Planning Association of Sri Lanka

යෝනි විවරය අවට ප්‍රදේශයේ සෞඛ්‍යය පවත්වාගැනීම - පිළිකා සහ ආසාදනවල මූලික ලක්ෂණ හඳුනා ගැනීම.

යෝනිය

බොහෝ දෙනෙකු කාන්තා බාහිර ලිංගික අවයව හැඳින්වීමට "යෝනිය" (Vagina) යන වචනය භාවිතා කළද සැබවින්ම යෝනිය යනු ශරීරය ඇතුළත පිහිටා ඇති කුහරමය නාලයකි. මෙය අපට පිටතින් පෙනෙන කොටස (Vulva) වන අතර යෝනි තොල් (Labia), ලිංගික සතුට සහ උද්දීපනය සඳහා ස්වාභාවිකවම නිර්මාණය වී ඇති කාන්තා යෝනි මාර්ගයෙහි මුත්‍රා මාර්ගයට ඉහළින් පිහිටා ඇති කුඩා ඉතා සංවේදී ඉන්ද්‍රියය (Clitoris) සහ අවට සම ආදී කොටස්වලින් සමන්විත වේ.

බාහිරව පිහිටා ඇති යෝනි විවරය අවට ප්‍රදේශය ආශ්‍රිත සම ඉතා සංවේදී බැවින් එහි ආසාදන ඇතිවීම පොදු තත්ත්වයකි. එබැවින් ලිංගාශ්‍රිත සෞඛ්‍යය නිසි ලෙස පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.

පොදු රෝගී තත්ත්වයන්,

  • යීස්ට් ආසාදන (Candidiasis): මෙහිදී ලිංගික ප්‍රදේශයේ කැසීම, දැවිල්ල සහ උකු සුදු පැහැති ස්‍රාවයන් පිටවීම සිදු විය හැක.

  • බැක්ටීරියා ආසාදන: අසාමාන්‍ය යෝනි ස්‍රාවයන්, දුගඳ හැමීම සහ කැසීම හෝ රතු පැහැ වීම වැනි ලක්ෂණ ඇති විය හැක

  • ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (STIs): හර්පීස්, ක්ලැමීඩියා සහ උපදංශය වැනි රෝග විවිධ ආකාරවලින් පෙන්නුම් කරයි. වේදනාකාරී හෝ වේදනා රහිත සමේ තුවාල, අසාමාන්‍ය යෝනි ස්‍රාවයන් සහ උදරයේ වේදනාව මෙහි රෝග ලක්ෂණ විය හැක.

  • සමේ රෝග: එක්සිමා, සොරයිසිස් සහ ස්පර්ශය හරහා බෝවිය හැකි චර්මරෝග (Contact dermatitis) වැනි තත්ත්වයන් නිසා සමේ වෙනස්කම්, කැසීම සහ රතු පැහැ වීම සිදු විය හැක.

  • බාහිරව පිහිටා ඇති යෝනි විවරය ආශ්‍රිත පිළිකා: දිගුකාලීන කැසීම හෝ දැවිල්ල, සමේ වෙනස්කම් (වර්ණය වෙනස් වීම හෝ සම ඝන වීම), තුවාල සහ ඔසප් වීම හා සම්බන්ධ නොවන රුධිරය වහනය වීම වැනි ලක්ෂණ මින් ඇති විය හැක.

වැදගත්: ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ ඇත්නම්, ස්වයං ප්‍රතිකාර කිරීමෙන් වැළකී වෛද්‍යවරයකු හමුවීම අත්‍යවශ්‍ය වේ. ප්‍රමාද වීමෙන් රෝගී තත්ත්වය උත්සන්න විය හැක.

සෞඛ්‍ය සම්පන්න පුරුදු,

  • නිතිපතා ස්වයං පරීක්ෂාව: පෞද්ගලිකත්වය සුරැකෙන, හොඳින් ආලෝකය ලැබෙන කාමරයක කණ්ණාඩියක් ආධාරයෙන් ඔබේ ලිංගික ප්‍රදේශයේ සාමාන්‍ය ස්වභාවය හඳුනා ගන්න.

  • HPV එන්නත: HPV වෛරසය පිළිකා ඇති කිරීමට අවදානමක් පවතින බැවින්, මෙම HPV වැළක්වීමේ එන්නත මගින් ආරක්ෂාව ලබා ගත හැක.

  • යට ඇඳුම්: වාතය හොඳින් ගමන් කරන කපු රෙද්දෙන් මැසූ යට ඇඳුම් අඳින්න. ව්‍යායාම කිරීමෙන් පසු හෝ අධික ලෙස දහඩිය දැමූ විට යට ඇඳුම් මාරු කරන්න.

  • සනීපාරක්ෂක තුවා: සෑම පැය 4ත් 6ත් අතර කාලයකදී සනීපාරක්ෂක තුවා මාරු කරන්න. රුධිරයෙන් පෙඟුණු තුවා දිගු වේලාවක් ඇඳ සිටීමෙන් සමේ අසාත්මිකතා සහ කැසීම ඇති විය හැක. හැකි සෑම විටම සුවඳ විලවුන් රහිත, කාබනික (Organic/Hypoallergenic) සනීපාරක්ෂක තුවා තෝරා ගන්න.

  • පිරිසිදු කිරීම: රළු සුවඳ විලවුන් හෝ බැක්ටීරියා නාශක සබන් සහ පිරිසිදුකාරක භාවිතයෙන් මෙන්ම යෝනිය ඇතුළත සේදීමෙන් (douching) වළකින්න. මින් හිතකර බැක්ටීරියා විනාශ වී ආසාදන ඇති විය හැක.

  • වැසිකිළි භාවිතයෙන් පසු: සැමවිටම ඉදිරිපස සිට පසුපසට (යෝනියේ සිට ගුද මාර්ගය දෙසට) පිසදැමීම සිදු කරන්න.

  • ආරක්ෂිත ලිංගික සබඳතා: ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වළක්වා ගැනීමට කොන්ඩම් වැනි ක්‍රම භාවිතා කරන්න.

  • ලිහිසි ද්‍රව්‍ය භාවිතා කරන්නේ නම් ඒවා සුවඳ විලවුන් රහිත ජලය අඩංගු (Water-based) ඒවා භාවිතා කිරීමට සහතික කර ගන්න.

සෑම කාන්තාවකගේම සිරුරේ ස්වභාවය එකිනෙකට වෙනස් වුවත් ලිංගාශ්‍රිත සෞඛ්‍යය රැක ගැනීම ඉතා වැදගත් වේ. ඔබට හෝ ඔබ දන්නා අයෙකුට ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ ඇත්නම්, කරුණාකර වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

වැඩිදුර උපදෙස් සඳහා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ බ්ලූම් වෛද්‍ය සායනය (Bloom Medical Clinic) අමතන්න.

දුරකථන අංකය: +94 779895252. ලිපිනය: අංක 37/27, බුලර්ස් පටුමග, කොළඹ 07

 

Author

The Family Planning Association of Sri Lanka

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2026 | Family Planning Association All Rights Reserved
As Imagined By