ඔසප් වීම සම්බන්ධ ගැටලු | The Family Planning Association of Sri Lanka

ඔසප් වීම සම්බන්ධ ගැටලු

ඔසප් වීම (ආර්තවය ලෙසද හැඳින්වේ) යනු ගර්භාෂයේ බිත්ති (lining) සංසේචනය නොවූ කාන්තා ඩිම්බයක් සමඟ යෝනි මාර්ගයෙන් රුධිරය පිට කිරීම මගින් සිදු කරන ස්වභාවික ජීව විද්‍යාත්මක ක්‍රියාවලියකි. මෙම සමස්ත ක්‍රියාවලියම ශරීරයේ හෝමෝන කිහිපයක් මගින් පාලනය වේ.ඔසප් වීමේ ගැටලු බොහෝ ඔසප් වන්නන් (menstruators) සඳහා අතිශයින් පොදු ගැටලුවකි. වඩාත්ම කැපී පෙනෙන ගැටලුව වන්නේ ඔසප් වීම සිදු නොවීම හෝ ප්‍රමාද වීමයි. නමුත් අක්‍රමවත් ඔසප් වීම, අධික ලෙස දීර්ඝ වශයෙන් ඔසප් වීම හෝ අධික ඔසප් රුධිර වහනය, සහ වේදනාකාරී ඔසප් වීම ද ගැටලු විය හැකිය.

අසාමාන්‍ය සහ සැලකිලිමත් විය යුතු තත්ත්වයක් කුමක්දැයි තේරුම් ගැනීමට පළමුව සාමාන්‍ය තත්ත්වය කුමක්ද යන්න වටහා ගැනීම වැදගත්වේ.

සාමාන්‍ය තත්ත්වය කුමක්ද?

ඔසප් වීම ආරම්භ වන්නේ අවුරුදු 8 ත් 13 ත් අතර (සාමාන්‍යයෙන් අවුරුදු 11 දී) වන අතර, මෙය ඔසප්වීම (menarche) ලෙස හැඳින්වේ. ඔසප් වන්නෙකු ආසන්න වශයෙන් දින 21 සිට 35 දක්වා (සාමාන්‍යයෙන් ඔසප් වීමේ පළමු දින සිට ඊළඟ ඔසප් වීමේ පළමු දිනය දක්වා දින 28 කට වරක්) රුධිරය පිට කරයි. යෝනි මාර්ගයෙන් රුධිර වහනය දින 2 ත් 7 ත් අතර (සාමාන්‍යයෙන් දින 5 ක්) පවතී. ඔසප් රුධිර වහනය ඉතා අධික නොවිය යුතුය. එනම් එය නිතර නිතර ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන (උදා: සනීපාරක්ෂක තුවා හෝ ටැම්පොන් එකක් සෑම පැය 4 කට පෙර නිතර නිතර වෙනස් කළ යුතු වීම) මාරු කිරීමට හේතු විය යුතු නැත. ගර්භාෂයේ හැකිලීම මගින් ඔසප් වීමේදී ගර්භාෂයේ බිත්ති ඉවත් කරයි. මෙම හැකිලීම් නිසා උදරයේ වේදනාව සහ යටි බඩේ හා කලවාවල වේදනාව ඇති විය හැක. වේදනාවක් තිබීම සාමාන්‍ය දෙයක් ලෙස සලකනු ලැබුවද එම වේදනාව දෛනික ක්‍රියාකාරකම් එනම් පාසල් යාම හෝ රැකියාවට යාම වැනි දේට බාධා වන තරමට දැඩි නොවිය යුතුය.

ඔසප් වීම සිදු නොවීම

නිවැරදිව ඔසප් වීම සිදු නොවීම, ප්‍රමාද වූ හෝ නිතර සිදු නොවන ඔසප් වීම, ඔසප්වීම පිළිබඳව පවතින පොදු පැමිණිල්ලයි. ඇතැම් ඔසප් වන්නන් සඳහා සෑම දින 28 කට වරක්ම මෙය සිදු වුවද, බොහෝ දෙනෙකුට දින 28 සීමාවට දින කිහිපයකට පෙර හෝ පසුව ඔසප් වීම සිදුවනු ඇත - මෙය සාමාන්‍යය තත්වයකි.

වයස අවුරුදු 16 වන විට ඔසප් වීම ආරම්භ වී නොමැති නම් ජානමය හේතු හෝ හෝමෝන අසමතුලිතතා නිසා සිදු විය හැකි බැවින් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.

එසේම, ඔසප් වීම දින 35 කට වඩා කාලයක් තුළ සිදු නොවුයේ නම්, වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.

ඔසප් වීම සිදු නොවීම සඳහා හේතු ගණනාවක් තිබේ, ඒවා අතර:

  • ගැබ් ගැනීම

  • මානසික ආතතිය

  • බර වෙනස්වීම් (හදිසි බර අඩු වීම හෝ වැඩි වීම)

  • අධික ව්‍යායාම

  • තයිරොයිඩ් ගැටළු

  • පිකොස් (PCOS) වැනි තත්වයන්

  • මව්කිරි දීම

  • උපත් පාලනය සහ ඇතැම් ඖෂධ

  • ඔසප් වීම ආරම්භ වන කාලය (පළමු ඔසප්වීම)

  • ආර්තවහරණය (Menopause) සහ ආර්තවහරණයට පෙර කාලය (perimenopausal period) (ආර්තවහරණයට පෙර සහ පසු කාලය) යන අවස්ථාවලදී අක්‍රමවත් සහ ඔසප් වීම නොමැති තත්ත්වයන් ඇති විය හැක. 

 

අක්‍රමවත් ඔසප් වීම

අක්‍රමවත් ඔසප් වීම යනු දින 21 ක කාලයක් ඇතුළත නිතර නිතර හෝ දින 35 කට වඩා වැඩි කාලයකට වරක් සිදු වන ඔසප් වීමයි. එමඟින් ඔසප් චක්‍රයේ කාලසීමාවේ වෙනස්වීම් ඇති කරයි. මේ සඳහා පහත හේතු ඇතුළත් විය හැකිය:

  • මානසික ආතතිය

  • බර වෙනස්වීම් (හදිසි බර අඩු වීම හෝ වැඩි වීම)

  • අධික ව්‍යායාම

  • තයිරොයිඩ් ගැටළු

  • පීකොස් (PCOS) වැනි තත්වයන්

  • ඔසප් වීම ආරම්භ වන කාලය (පළමු ඔසප්වීම)

  • ආර්තවහරණය 

 

අධික ලෙස ඔසප් වීම

අධික ලෙස ඔසප් වීම යනු දින 7 සිට 10 දක්වා කාලයකට වඩා වැඩි කාලයක් ඔසප් වීම පැවතීම හෝ සනීපාරක්ෂක තුවා හෝ ටැම්පොන් ආදිය සෑම පැය 2 ත් 3 ත් අතර කාලයකට වරක් ඉවත් කිරීමට සිදු වුවහොත් ඇති වන තත්ත්වයකි. මෙම තත්ත්වයට වහාම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ. අධික ඔසප් වීමට හේතු ඇතුළත් වන්නේ:

  • ගර්භාෂයේ විවිධ වර්ධනයන් (ෆයිබ්‍රොයිඩ් හෝ පොලිප්ස් වැනි තත්වයන්)

  • ගර්භාෂයේ හෝ ගැබ්ගෙලෙහි පිළිකා

  • අභ්‍යන්තර ගර්භාෂ උපත් පාලන ක්‍රම එනම් තඹ සහිත අභ්‍යන්තර ගර්භාෂ උපකරණ තැන්පත් කිරීම

  • පීකොස් (PCOS) වැනි හෝමෝන ආශ්‍රිත ගැටලු

  • රුධිර වහනය වීමේ ආබාධ

  • රුධිර වහනයට සම්බන්ධ නොවන ආබාධ, එනම් අක්මා, වකුගඩු, හෝ තයිරොයිඩ් රෝග. 

 

වේදනාකාරී ඔසප් වීම

ඔසප් වීමට පෙර සහ ඔසප් වන විට කැක්කුම සහ මෘදු වේදනාව අත්විඳීම සාමාන්‍ය දෙයක් වුවද, එම වේදනාව දෛනික ක්‍රියාකාරකම්වලට බාධා වන තරමට දැඩි නොවිය යුතුය. වේදනා නාශක (අසාත්මික තත්වයන් ඇති නොවේ නම් පැරසිටමෝල්), උණු වතුර බෝතල්, මෘදු ව්‍යායාම/යෝගා සහ විවේකය වැනි ක්‍රම මගින් ඔසප් වේදනාව සමනය නොවේ නම්, ඔසප් වේදනාවට සම්බන්ධ හේතු තිබේදැයි සොයා බැලීම සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.

ඇතැම් විට මෙම වේදනාවට යටින් පවතින හේතුවක් සොයාගත නොහැකි නමුත් පහත සඳහන් හේතු අධික ඔසප් වේදනාවක් ඇති කළ හැකිය:

  • ෆයිබ්‍රොයිඩ් තත්වයන්

  • එන්ඩොමෙට්‍රියෝසිස් තත්වයන්

  • පීකොස් (PCOS)

  • ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STI)/ශ්‍රෝණි ප්‍රදාහක රෝග (Pelvic inflammatory disease)

  • ඩිම්බකෝෂ ගෙඩි

  • වෙනත් නාරිවේද නොවන රෝග (උදා: ඇපෙන්ඩිසයිටිස් ආදිය)

  • අභ්‍යන්තර ගර්භාෂ උපත් පාලන ක්‍රම, එනම් තඹ සහිත අභ්‍යන්තර ගර්භාෂ උපකරණ තැන්පත් කර තිබීම.  

 

ඔසප් වීමට පෙර ඇතිවන සින්ඩ්‍රෝම තත්වය

ඔසප් වීමට පෙර සහ ඔසප් දිනවලදී සිදු වන හෝමෝන වෙනස්වීම් මගින් සැලකිය යුතු මානසික සහ ශාරීරික රෝග ලක්ෂණ ඇති කළ හැකිය. මානසික රෝග ලක්ෂණ අතර මනෝභාවයේ වෙනස්වීම්, කාංසාව, මානසික අවපීඩනය සහ සංවේදී බව ඇතිවම ආදිය ඇතුළත් වේ. ශාරීරික රෝග ලක්ෂණ අතර බඩ පිපුම, පියයුරු වල මුදු මොළොක් බව, හිසරදය සහ සමේ හෝ කෙස්වල වෙනස්කම් ආදිය සඳහන් කළ හැකිය. මෙම රෝග ලක්ෂණ දෛනික ක්‍රියාකාරකම් වලට බාධා වන තරමට දැඩි නම් එය පූර්ව ඔසප් ඩිස්ෆෝරික් ආබාධය (Pre-Menstrual Dysphoric Disorder - PMDD) ලෙස හැඳින්වේ.

නිතිපතා ව්‍යායාම, සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර වේලක්, වඩා සුව නින්ද, දුම්පානය/මත්පැන් භාවිතයෙන් වැලකීම සහ මානසික ආතතිය අඩු කිරීම වැනි සරල ජීවන රටා වෙනස්කම් මගින් රෝග ලක්ෂණ අවම කළ හැකිය. ඖෂධ මගින් ද රෝග ලක්ෂණ සැලකිය යුතු ලෙස වැඩිදියුණු කළ හැකි බැවින්, පූර්ව ඔසප් සින්ඩ්‍රෝම තත්වය හෝ පූර්ව ඔසප් ඩිස්ෆෝරික් ආබාධ තත්වයන්වල කිසියම් රෝග ලක්ෂණයක් අත්විඳින්නේ නම්, වෛද්‍යවරයකු හමුවීම වැදගත් වේ.

සමාලෝචනය

ඔසප් වීම සහ එහි ආබාධ තේරුම් ගැනීම පුද්ගලයන්ට නියමිත වේලාවට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටා තෝරා ගැනීමට හැකි වේ.

ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු ඔසප් වීමේ ගැටලු අත්විඳින්නේ නම්, කරුණාකර පහත සඳහන් පුද්ගලයන් සමඟ සාකච්ඡා කිරීමෙන් හෝ ඔවුන් වෙත පැමිණීමෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත හැකිවේ.

  • ඔබේ ප්‍රදේශයේ නොමිලේ සේවය ලබාදෙන පවුල් සෞඛ්‍ය නිළධාරිනිය

  • ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලය

  • ළඟම ඇති රජයේ හෝ පෞද්ගලික රෝහල

  • ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානය (The Centre for Family Health at the Family Planning Association of Sri Lanka) දුරකථන අංකය - +94112555455, ලිපිනය අංක 37/27, බුලර්ස් පටුමග, කොළඹ-07)

 

Author

The Family Planning Association of Sri Lanka

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2025 | Family Planning Association All Rights Reserved
As Imagined By