මගේ නම සෙව්වන්දි. මා කුඩා කල මාගේ මව හා පියා දික්කසාද විය. ඉන් පසුව මගේ භාරකාරීත්වය මාගේ මවට හිමි වූ අතර මව ටික කලක් ගිය පසු වෙනත් විවාහයකට යොමුවිය. කලක් යනතුරු මවගේ දෙවෙනි විවාහයේ සැමියා මා හට ආදරයෙන් සැලකූ අතර ඉන්පසු ඔහුගේ චර්යා රටා වෙනස් වන්නට පටන් ගැනුණි. ඔහු මා ක්‍රමක්‍රමයෙන් රැවටිලි සහගත ලෙස මාව ප්‍රේම සම්බන්ධතාවයකට පොළඹවා ගත් අතර හුදෙක් මට එය ආදර සම්බන්ධතාවක් පමණක්ම වූ අතර නමුත් ඔහුගේ අවශ්‍යතාවය වී තිබුණේ ලිංගික සම්බන්ධතාවයකි. එහි ප්‍රතිඵලයක් ලෙස මා අද වන විට ළමා ගැබිනියක් බවට පත් වී තිබේ.


ඉහත සිදුවීම මානසික රෝගයකින් පෙළෙන 17 හැවිරිදි ගැබිණියකගේ සත්‍ය කතාවක් ඇසුරෙනි. මාගේ දැනුම අනුව මවගේ හා පියාගේ දික්කසාදයෙන් පසුව ගැහැණු දරුවෙකු ලෙස මැයට හිමිවිය යුතු අවධානය ආදරය සහ රැකවරණය මැයට අහිමි වී ඇති අතර එම අවස්ථාවෙන් ප්‍රයෝජන  ගනිමින් ඇයගේ මවගේ දෙවන කසාදෙ සැමියා ඇයත් සමග සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇත. මෙම සිද්ධියට බලපාන එක් ප්‍රධාන කරුණක් ලෙස මෙම දරුවා ගැහැනු දරුවකු වීම හඳුනාගත හැක. තම මවගේ දෙවන සැමියා, ඔහු මේ අවස්ථාවේදී ගෘහ මූලිකයා වන අතර මෙම  අවස්ථාවේදී ඇයට අසාධාරණයක් සිදුවන බව ඇයට හැඟුණා ද ඒ පිළිබඳව කථා කිරීමට ඇති අවස්ථාව අහිමි වී යන්නේ ඇය පවසන ආකාරයට ගෙදර වගකීම් ඉටුකරන එම පුද්ගලයාට එරෙහිව ඇයට කතා කිරීමට ඇති බිය නිසාවෙනි. ඇයගේ වචන වලට අනුව ”අනික එයා පිරිමියෙක් මම කොහොමද එයත් එක්ක සටන් කරන්නෙ” යන්න ඇය පවසන කරුණයි.


අනෙක් ප්‍රධාන කරුණ ලෙස දික්කසාදය හඳුනාගත හැක. ඈත අතීතයේදී දික්කසාදය සදහා හේතු වූයේ වෙනත් අඹුසැමි සම්බන්ධකමක් පැවැත්වීම, කෲරත්වය, අත්හැර දැමීම හා මානසික රෝග වැනි බරපතළ කරුණු පමණකි. නමුත් අද වන විට දික්කසාද නඩු සීග්‍රයෙන් වැඩිවී ඇත. දික්කසාදය නමැති පෙරලිය තුල වැඩි වශයෙන් අසරණ වනුයේ කුඩා ළමුන් වන අතර මේ අතර බහුතරයක් ගැහැනු ළමයින් වේ. දික්කසාදය යන පියවර තුළ පවුලක පිරිමි දරුවන්ට වඩා ගැහැණු දරුවන් අසරණ තත්ත්වයට පත්වෙනවා යන්නෙහි කිසියම් සත්‍යතාවයක් ඇති බව මෙම සිද්ධියෙන්  පෙන්නුම් කරයි. දික්කසාදය තුළ තම සුළු පියාගේ බලපෑම් හේතුවෙන් මානසිකව පීඩා විඳි එකම කාන්තාව ඇය නොවේ. දික්කසාද යන පියවර තුළ අතරමං වන ගැහැණු දරුවෙකුගේ ආරක්‍ෂාව පිළිබඳව මීට වඩා යමක් සිතන්නට ඇත. මව්පියන්ගේ දික්කසාදය තුළ  වැඩිපුරම අසරණ වනුයේ ගැහැණියද? ගැහැණු දරුවාද?... එයට හේතුව වනුයේ ඔවුන්ගේ ස්ත්‍රීත්වය ද? ස්ත්‍රීන්ට අද සමාජයේ හිමි තැන ද?... සිතන්නට යමක් තිබේද???


ආර්. එම්. කසුණි ගංගා මාදවී